අද සිට තවත් බන්ධනාගාර 3කට STF - අගුණකොලපැලැස්ස රැඳවියන් 08 ක් වෙනත් බන්ධනාගාරවෙත මාරු කරයි ජුලම්පිටියේ අමරේත් ඒ අතර


අද සිට තවත් බන්ධනාගාර 3කට STF යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ඇතී.

එමෙන්ම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිතයි.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට බන්ධනාගාර වල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගනු ලැබුවා.

එහි පළමු අදියර ලෙස පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර එයට එරෙහිව රැඳවියන් පිරිසක් විරෝධතාවයක ද නිරත විය.

මේ අතර අදාළ විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ.

එම රැදවියන් අතර ජුලම්පිටියේ අමරේ, තංගල්ලේ  මහේෂ් ඇතුළු හෙරොයින් හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් 08 දෙනකු සිටින බව සඳහන්.

ඔවුන් කළුතර, ගල්ල, මාතර, කුරුවිට සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරු කර තිබෙනවා.

Powered by Blogger.