දඹුල්ලේ සැප ගත්ත ක්‍රීකට් ආයතනයේ නිලධාරීන්ගේ ලේකම්වරියන් යළි කොළඹට ගෙන්වයි




රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ විශේෂ නැරඹුම් කුටිවල සේවය සදහා  ක්‍රීකට් ආයතනයේ ඉහළ පෙලේ  නිලධාරීන්ගේ ලේකම්වරියන් 10 දෙනෙකු යොදවා තිබෙන බවට පසුගිය දින වල සමාජ ජාල මාධයේ කතා බහට ලක් වුණා.  මීට පෙර රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ විශේෂ නැරඹුම් කුටිවල සේවා කටයුතු සිදුකළේ පළාත් ක්‍රීකට් සංගමයයි.  ඔවුන්ට තරග දිනයකදී  රුපියල් 1500 ක පමණ මුදලක් පමණක් ගෙවා තිබෙනවා.

එහෙත් අදාළ ලේකම්වරියන් සදහා නවාතැන් පහසුකම්, ආහාරපාන ඇතුළත්ව දිනකට රුපියල් 5,000 ක දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබූණා. ඒ අනුව මෙම නිලධාරිනියක් දින පහක් දඹුල්ලේ රැදී සිටිය හොත්, ලේකම්වරියකට රුපියල් 25,000 ක මුදලක් හිමිවන අතර සෙසු පහසුකම්වල පිරිවැය ද සමඟ ලේකම්වරියක් සඳහා රුපියල් 50,000 කට අධිකයි.

කෙසේ වෙතත් අධික මුදලක් ගෙවා රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ විශේෂ නැරඹුම් කුටිවල සේවය සදහා යෙදවූ ක්‍රීකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ ලේකම්වරියන් මේ වන විට යළි කොළඹට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

 රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේදී හෙට (13) උදෑසන 10 ට ආරම්භවීමට නියමිත  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රීකට් තරගය සඳහා  විශේෂ නැරඹුම් කුටිවල සේවයට  ක්‍රීකට් ආයතනයේ ඉහළ පෙලේ  නිලධාරීන්ගේ ලේකම්වරියන් යෙදවා නොගන්නා බවටයි වාර්තා වුණේ.

Powered by Blogger.