වැරැද්දක් නොකර බන්ධනාගාර ගත වී වැලිකඩ බන්ධනාගාරය ගැන සියල්ල හෙළිකරයි



මා භාවිත කළ පැරණි රාජකාරි දිනපොතක මගේ අත්දැකීම් සටහන්ව තිබූ තොරතුරු ආශ්‍රය කරගෙන වැලිකඩ සිපිරිගෙය පිළිබඳ මෙවන් ලිපියක් සැකසීමට මා සිත් පෙළඹිණි.

සිරකරුවන් ඔවුන්ටම ආවේණික බසින් බන්ධනාගාරය හඳුන්වන්නේ ‘මහා උළු ගෙදර’ ලෙසිණි. අදින් වසර 18 කට පමණ පෙර, සිරකරුවන් රඳවා තබාගන්නා මේ මහා උළු ගෙදර මට ද රැඳෙන්නට සිදු විය. ඒ නිකන් ම නොව බරපතළ වැඩ සමුදායක් ද සහිතවය. කාලය දෙසතියකි. දිනය 2000 ජුලි 7 වැනි දිනය. මා වැන්නෙකුට මේ සිපිරි ගෙයි ලගින්නට සිදු වූ හේතුව, මම මේ ලිපිය අවසානයේ ඔබට හෙළි කරන්නට අදහස් කරමි.

බන්ධනාගාරය උස් දැවැන්ත තාප්පයකින් කොටු වූ පියවි ලොවින් සහමුලින්ම වෙන් වූ අමුතුම ලොවක් ලෙස මට හැඟිණි. ඔබ දිවියේ කිසිදා මෙහි යාමට නොපතාවී, මෙහිදී මා ලද අත්දැකීම් කියවන්නට ඔබට අවස්ථාවක් ලද හොත්. සිර ගෙදර ඇතුළත සත්‍ය ස්වභාවය ඔබ හමුවේ මෙසේ එසේ එකිනෙක පෙළගස්වන්නට අදහස් කළෙමි.

එහි රැඳී සිටි කාලපරිච්ඡේදය තුළ බලධාරීන්ගේ සුවිශේෂී අනුමැතිය ලැබ, වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 48 ක් පුරා පැතිරි භූමි භාගය පුරා මම දෙපයින් ඇවිද්දෙමි. බන්ධනාගාරයේ මා පිය නොතැබූ කිසිදු ගොඩනැගිල්ලක් නැති තරම්ය. එල්ලුම් ගහ අබියසට ද ගියෙමි. සිරකරුවන් ඇසුරු කළෙමි. ඒ අතර මිනීමරුවන් ගේ බිහිසුණු මුහුණුවල තැවරී පැවති දැඩි අසරණ ස්වභාවය ද මගේ මතකයට නැගේ. සිරගතව සිටින බොහෝ පුද්ගලයින් තම සිර මැදිරියේ සිට පොත් පත් ලියූ අයුරු ද ඔබ අසා ඇතුවාට සැක නැත. මම ද රැගෙන ගිය දින පොතෙහි බන්ධනාගාරයේ දී මා දෙසවන් වැකුණු සියලු පුවත් සටහන් ක​ෙළමි. ඇස රැඳී සියලු දෑ අකුරු බවට පත් කළෙමි. මඳ අවකාශයක් ලද සැණින් මම බන්ධනාගාර පුස්තකාලයට ද ගොඩ වැදීමට අමතක නොකළෙමි. බන්ධනාගාරී දිවියේ අතිශය කටුක අත්දැකීම් අනාවරණය කිරීමට පෙර පුස්තකාලයේ දී ආයතනික වාර්ෂික වාර්තා ආශ්‍රයෙන් සනිටුහන් කර ගත් තොරතුරු සම්පිණ්ඩනයකින් මෙම ලිපිය ආරම්භ කිරීම වඩා යෝග්‍ය වෙතැයි මට හැඟිණි.

බන්ධනාගාර ගත කිරීම යනු හුදු කායික මා මානසික වශයෙන් සිය පෞද්ගලිකත්වයෙන් වෙන් කොට තැබීමකි. 1877 අංක 16 දරන බන්ධනාගාර පනත මගින් මෙරට බන්ධනාගාර පද්ධතිය විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසිණි. මෙහි මුල්ම ප්‍රධානියා ලෙස සේවය කර ඇත්තේ ඉන්ස්පෙක්ටර් ජනරාල් මේජර් බී. බිල්ටන් මහතාය. වැලිකඩ බන්ධනාගාරය 1844 වර්ෂයේදී අංක 18 දරන පනත යටතේ ස්ථාපනය කරන ලදී. එවකට වැලිකඩ බන්ධනාගාරයෙහි සිරකරුවන්ට දඬුවම් වශයෙන් ඉතා බර වැලි කොට්ට පිරවූ කදක් (වැලි කදක්) බන්ධනාගාරයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගෙන ගොස් බෑමද, යළිත් එම වැලි ප්‍රමාණය ක​ෙදහි පුරවාගෙන මුල් ස්ථානයට ගෙන යාම ද වාර ගණනාවක් කිරීමට සිදු විය. ‘වැලි කද ගෙන යන දඬුවම ක්‍රියාත්මක වූ මෙම බන්ධනාගාරය පසු කාලයේදී වැලිකඩ බන්ධනාගාරය’ ලෙසින් හඳුන්වන්නට වූ බව පැවසේ. කිසියම් වරදක් කරනු ලැබූවෙක් බන්ධනාගාරයට යොමු කෙරෙන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් සාධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් බැව් බන්ධනාගාර පාලන වාර්තාවන්හි සඳහන් ය.

1. භාරකාර පරමාදර්ශය. (Custodian Model) විනය පවත්වාගෙන යමින් චර්යාවන් පාලනය කරමින් මුළුමහත් මානව සමාජයේ ආරක්ෂාව සැලසීම මෙහි මුල් පරමාර්ථයයි.

2. පුනරුත්ථාපන පරමාදර්ශය. (rehabilitation Model) මෙම පරමාදර්ශය තුළින් සිරකරුවන්ගේ මානසික ස්වභාවය ගුණාත්මක ලෙසින් සංවර්ධනය කිරීම අපේක්ෂිතය.

3. යළි සමාජ ගත කිරීමේ පරමාදර්ශය (reintegration model) සිර ගෙදරින් බැහැර විවෘත සමාජය සමග යහපත් සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලගැන්වීම මෙමගින් අපේක්ෂිතය.

අධිකරණ තීන්දුවක් ලැබීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යොමු කෙරෙන අපරාධකරුවන්, වර්ග කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන අයුරු පැරණි වාර්තා ආශ්‍රයෙන් දැන ගතිමි. රථ වාහන පැදවීමේදී වැරදි සිදුකළ බීමත්ව කළහ කිරීම වැනි සුළු චො​්දනා යටතේ සිරගත වෙන්නන් තාවකාලික අපරාධකරුවන් (Casual Offenders) ලෙස සැලකේ. ඉඳහිට සමාජ විරෝධී වැඩවල නිරතවෙන්නන් සුළු අපරාධකරුවන් සේ සැලකේ. සුළු අපරාධකරුවන් එක් වරක් දඬුවම් කළ විට, කළ වරදෙහි බරපතළකම අවබෝධ කරගෙන යළි අපරාධවලට නැඹුරු නොවන්නන් ය යන විශ්වාසයක් පවතී. උග්‍ර මානසික පීඩනය හෝ අසහනය හේතුවෙන් වරදට පෙළඹෙන්නන් උන්මත්තක (episodic criminals) අපරාධකරුවන් සේ සැලකේ. ප්‍රභූ සමාජයේ හා ව්‍යාපාරික ප්‍රජාවේ නීතියට පටහැනිව ක්‍රියා කරන සුදු කරපට අපරාධකරුවන් (White collar criminals) මොව්හු වැඩි වශයෙන්ම බන්ධනාගාර ගත වෙන්නේ සිවිල් උසාවි මගින් දෙනු ලබන තීන්දු මතය. නිරන්තරයෙන්ම පුරුද්දක් සේ නීති විරෝධී ක්‍රියාවන්හි නිරත අපරාධකරුවන් (habitual offenders) විශේෂයෙන්ම මංකොල්ලකරුවන් හා මං​ පහරන්නන් මේ කොටසට ගැනේ. මත් කුඩුවලට ඇබ්බැහි වූ අපරාධකරුවන්, මිනී මැරුවන් සහ සිය ජීවනෝපාය පිණිස නිරතුරුවම අපරාධවලට පෙළෙඹෙන්නන් දරුණුම ගණයේ අපරාධකරුවන් සේ සැලකේ.

බන්ධනාගාරයේ රැඳී සිටි කාලයේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන වැලිකඩ පෝරකය ආසන්නයට ම යාමට ද මට අවස්ථාව සැලසිණි. එල්ලුම් ගස ස්ථාපිත කුටිය ආසන්නයේ චැපල් වාට්ටු ගොඩනැගිලි සංකීර්ණය පිහිටියේය. එහි සී 03 අංකය යටතේ සිර කුටි 30 කි. ඒ එල්ලා මැරීමට නියමිත අපරාධකරුවන් රඳවා තබන සිර මැඳිරි සමූහයයි. මරණයේ සෙවනැළි දකිමින් ඔවුහු මෙම සිර කුටි තුළ රැඳී සිටිති. අපරාධ කරුවනට, තම දිවියේ අවසන් ඉම සපථ කෙරෙන එල්ලුම් ගස නිරන්තරයෙන්ම ඇස ගැසෙන ඉසවුවකය මෙම සිර කුටි පිහිටියේ. පෝරකය පිහිටුවා තිබුණේ තරමක ඉඩකඩ සහිත කුටියක් තුළය. එහි හාත්පස පරිසරය අඳුරු ස්වභාවයකින් පැවතිණි. අවට පරිසරය ද බෙහෙවින්ම නිහඬය. ශක්තිමත් පැරණි ස්වරූපයෙන් යුත් බාල්කයෙහි හරි මැදට වෙන්නට පිහිටි යකඩ බොලොක්කයකි. ඒ වකවානුවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවූ බැවින් තොණ්ඩුව සහිත තේඩා ලණුව දැකගන්නට නොලැබිණි. මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු ගෙලට වැටෙන තොණ්ඩුව සහිත තේඩා ලණුව මෙම බොලොක්කය හරහා ඇතුල් කෙරේ. තේඩා ලණුවේ අනෙක් කෙළවර වින්දිතයා ගේ සිරුරේ බරට සරිලන සේ පුරවන ලද වැලි කොට්ටයක ගැට ගසා තිබුණු බැව් දැන ගන්නට ලැබිණි. බාල්කයේ තේඩා ලණුව යොදන බොලොක්කයට සමාන්තරව බිම ලෑලි ආවරණයකි. එහි හරි මැද එල්ලුම් ගස් යැවෙන පුද්ගලයාගේ දෙපා තැබිය යුතු ස්ථානය කළු කොටුවකින් සටහන් කර ඇත. සම්ප්‍රදායක් ලෙසින් එල්ලා මැරීම සිදු කරනු ලබන්නේ පෙරවරු 8.05 ටය. මරණ දඬුවම ලබන්නා බිම් ලෑල්ලේ කළු කොටු සටහන මත සිටුවා ඔහු ගෙලට තොණ්ඩුව සිර කෙරේ. පෝරකය භාරව සිටින ජේලර්වරයා එල්ලා මැරීම ක්‍රියාත්මක කළ යුතු නියමිත වේලාවට දෙනු ලබන සංඥාවට අනුව, අලුගෝසුවා විසින් පෝරකයේ වින්දිතයා දෙපා තබා සිටින ලී පුවරුවට පසෙකින් සම්බන්ධ කර ඇති ලීවරයක් පහත හෙළීමට උත්සුක වෙයි. ඒ සැණින් පෝරකයේ බිම් ලී පුවරුවේ දොර පියන් දෙක පහතින් පිහිටි වළ නිරාවරණය කරමින් දෙපසට විවර වේ. නිමේෂයකින් තොණ්ඩුවෙන් ගෙල සිර වී සිටින චූදිතයා මරණය වැලඳ ගනිමින් පහත පිහිටි වළට පතිත වේ.



බන්ධනාගාර ලේඛනයන්ට අනුව එල්ලුම්ගහ මුල්වරට ක්‍රියාත්මකව ඇත්තේ 1812 පෙබරවාරි 10 වැනි දිනය. ඉංගිරියේ කළුඅප්පු නමැත්තා මුලින්ම එල්ලුම්ගස් ගිය තැනැත්තා ලෙස ලේඛනගතය. එල්ලුම්ගසට නියම වූ පළමු කාන්තාව වූ ඩිංගිරි මැණිකා ඇගේ කුඩා දරුවා නිසා පෝරකයෙන් මිදි ඇති බවද වාර්තා වේ. 1976 ජුනි 23 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ එල්ලුම් ගස අක්‍රීය වූයේ 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේය. තිස්සමහාරාමයේ ජයසිංහ මානච්චිගේ චන්ද්‍රදාස එල්ලුම්ගහට ගිය අවසන් පුද්ගලයා ලෙස සැලකේ.

සිරකරුවන් අතරෙන් දරුණු නොවන පිරිස් දිවා කල එළිමහනේ ගතකෙරේ. ඔවුහු අංගණය පිරිසිදු කිරීම් වැනි කටයුතුවල නිරත වෙති. සියලුම රැඳවියන් රාත්‍රී කාලයේ දී සිරකුටි තුළට දමා වසනු ලැබේ. මෙම කුටි සාමාන්‍යයෙන් දිග පළලින් අඩි 6 x 8 ක ප්‍රමාණයෙන් යුක්තය. එහි ගත කළ හැක්තේ රැඳවියන් එක් අයෙකු හෝ දෙදෙනෙකුට පමණි. එනමුදු මෙම කුඩා කුටියක සිර කරුවන් 7 දෙනෙකු පමණ තෙරපා ඇතුළ් කර දොර වැසීම සිදු වනු දෛනිකව දැකිය හැකිය. මෙබඳු කුඩා ඉඩක ඔවුනට වැතිරී නිදා ගත නොහේ. ඔවුන් නිදන්නේ හිටගත් ඉරියව්වෙනි. මෙහි පවත්නා අතිශය ඛේදනීය තත්ත්වය නම් රාත්‍රී කාලයේ ඔවුනට සිය ශරීර කෘත්‍ය ඉටු කර ගැන්මට මේ කුඩා සිර කුටි තුළ කිසිදු පහසුකමක් නොමැති වීමයි. ඔවුන් මළ මුත්‍රා බැහැර කරන්නේ පොලිතින් උරවලටය. සෝදා පවිත්‍ර කර ගැනීමට කුටිය තුළ ඉඩ හා ජල පහසුකම් නොමැති වීම නිසා ඔවුහු පවිත්‍රතාව රැක ගන්නේ පත්තර කඩදාසියකින් අපවිත්‍ර දෑ පිසදා ගැනීමෙනි. රැඳවියන් අතර චර්ම රෝග හා ලිංගාශ්‍රිත රෝග බහුලය. රාත්‍රී කාලයේ අවස්ථා කිහිපයකදීම මා තොරතුරු එක් රැස් කර ගැනීමේ අභිලාෂයෙන්, මෙම සිර කුටි ආසන්නයෙන් ඇවිද ගොස් ඇත්තෙමි. එම අවස්ථාවල සිර කුටි තුළ එකට තෙරපී සිටි මිනිසුන්ගෙන් නික්මුණු දාඩිය හා අපද්‍රව්‍ය දුගඳ පිසගෙන හැමූ සුළඟ ඉවසා දරා ගත්තේ මහත්ම අපහසුවෙනි. රාත්‍රියේ පැවතී දැඩි නිහඬතාව බිඳිමින් ඉකි බිඳුම්, සෝසුම් මෙන්ම රළු පරළු වදන් ද සිර කුටි දෙසින් නිරන්තරයෙන්ම පැතිර යනු මට ශ්‍රවණය විය. රැකවලෙක් පැමිණ තර්ජනය කරන අවස්ථාවල ඔවුහු නිහඬ වුවද, මද විරාමයකින් ඔවුහු පෙර පුරුදු මැසිවිලි නැගීම යළි ආරම්භ කරති.

සිරකරුවන් රාශියක් සමග සංවාදයෙහි යෙදෙන්නට ද මට අවස්ථාව සැලසිණි. මා ඔවුන් හමුවට ගියේ ඔවුන්ගේම සමාජයේ සාමාජිකයකු විලසිනි. සිර ගෙය තුළ යහපත් හැසිරීම් ඇති, සුළු සිරදඬුවම් විඳින්නන්ට හිරේ නිල ඇඳුම වූ ජම්පරය වෙනුවට, සුදු සරමකින් සහ අත්කොට කමිසයක් ඇඳීමේ වරප්‍රසාදය හිමිව තිබිණි. මා ද එම ඇඳුමින්ම සැරසී ඔවුන් අතරට යාමෙන් ඔවුන් මා සමග කුලුපගව සිය අධ්‍යාත්මය හෙළි කිරීමට නොපැකිළිව ඉදිරිපත් වූහ. සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් තමන් දුර දිග නොබලා කළ සමාජ විරෝධී වැඩ පිළිබඳව බෙහෙවින්ම පශ්චාත්තාපයට පත්වෙන පිරිස්ය. ඔවුහු සිර ගෙය තුළ තමන් ගත කරන අති දුක්ඛිත ජීවිතයෙන් හෙම්බත්ව සිටිති. තම පවුලේ උදවිය, විශේෂයෙන්ම දරු මල්ලන් තමන් සිරගත වූ දින සිට කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව ගත කරන අසරණ භාවය පිළිබඳව ඇතැමෙක් තොරතුරු හෙළි කළේ හැඬූ කඳුළිනි. බණ්ධනාගාර ගත වූ විට අත්විඳිනට සිදුවන මෙම ශෝචනීය තත්ත්වය පිළිබඳව පොදු මහජනතාව දැනුම්වත් කිරීමේ ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කළ යුතු වේ. සමාජ විරෝධී ක්‍රියාවන්ගේ ආදීනව අවබෝධ කර ගැනීම පිණිස පාසල් සිසුන්ට බන්ධනාගාර නැරඹීමට අවස්ථාව සලසා දීම ද වැදගති.

ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වූ හා මරණීය දණ්ඩනයට යටත් වූ සිරකරුවන් සඳහා දැඩි ආරක්ෂක සංවිධාන සහිත වි​ෙශ්ෂ සිර කුටි වෙන්කර ඇත. දිනකට පැය භාගයකට නොවැඩි අවස්ථා දෙකක දී පමණි ඔවුනට එළිමහනට පැමිණීමට අවකාශ සලසා ඇත්තේ. මාස හයට අඩු සිරදඬුවම් විඳින පුද්ගලයින් රඳවා තබනුයේ ශාලාවන් බඳු විශාලත්වයෙන් වැඩි සිර මැදිරි තුළය. එකම දොරකින් පමණක් සමන්විත මෙම එක සිරමැදිරියක් තුළ 450 ට ආසන්න සිරකරුවන් රඳවනු ලැබ ඇත. මීට අමතරව සිරගෙදර විනය නීතින් කඩ කරන සිරකරුවන් වෙනුවෙන් වෙනම දඬුවම් කළුවර කුටි කිහිපයක් ද මට දැකගන්නට ලැබුණි.

සිරගත වූවන් නිදහස්ව යළි සමාජයට මුදාහැරීමට පෙර ඔවුන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම, ඔවුන්ට දෛනික ආදායමක් උපයා ගත හැකි පරිදි වෘත්තීය පුහුණුවක් ලබා දීම පිණිස ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.

සමාජ හා මානව විද්‍යාව හදාරණ විද්‍යාර්තීන්ට බන්ධනාගාරය කදිම පර්​ෙ‌ය්ෂණාගාරයක් වෙනු නිසැකය. සිරකරුවන්ගේ ලෝකය විස්මිතය. ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා ව්‍යවහාරය, හැසිරීම් රටාව පිටස්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනසි. එහි දුට හැක්කේ අපූර්වතම සමාජ උපසංස්කෘතියකි. සිරකරු ප්‍රජාව ඉතා උගත් මෙන්ම නූගතුන් ගෙන් ද සැදී සංකීර්ණ සමාජයකි. එම සමාජ ස්ථරය තුළ විවිධ කලා කුසලතාවන්ගෙන් හා වෘත්තීමය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයින් ද සිටින බැව් නිරීක්ෂණය විය.

සිරකරුවන්ටම ආවේණික වූ ඔවුන්ගේ උපසංස්කෘතියේ වාග් කෝෂය විසිතුරුය. අපූර්වත්වයෙන් අනූනය.

ඔවුහු බන්ධනාගාරය හඳුවන්නේ ආණ්ඩුවේ බෝඩිම, මහා උළුගෙදර, ගල්පල්ලිය ආදී විශේෂණ පද වලිනි. බන්ධනාගාරයේදී අසන්නට ලැබුණු, ඔවුහු එදිනෙදා ජීවිතයේ ව්‍යවහාරිත අපූර්ව අරුත් දනවන වාග් කෝෂයෙන් බිඳක් අද දවසේ පවා මගේ මතකයේ රැඳී පවතී. යමෙක් සොරකමක් කරන විට, එය බලා සිටින්නා සොරාගෙන් ඉල්ලා සිටින අල්ලස ඇස් කුලිය නමිනි හැඳින්වෙන්නේ. කිසිවෙකුට දෙන පගාව අර්ථගැන්වීමට ඔවුන් භාවිත කරනුයේ ඉස්ම දෙනවා යනුවෙනි. සිරකරුවන්ගේ බසින් පොලිස්කාරයා පංචි යනුවෙන් ද, කාන්තාව “ඔසරිය” ලෙසින් ද අරුත් ගන්වති. කිසියම් කණ්ඩායමකින් ඉවත්වීම, හැලීම සේ සැලකේ. විනෝදය, පහසුව, ආතල් එක යනුවෙන් ද, කිසියම් දෙයක් වසන් කිරීම මොත්තේ දානවා යනුවෙන් ද හැඳින්වේ. ඔවුහු තම සිතට නැගෙන අදහස්, අඟුරු කැටවලින් බිත්ති මත ලියන්​ෙන් සමාජයට කිසියම් පණිවිඩයක් දීමේ අපේක්ෂාවෙන් විය යුතුය. ‘සල්ලි අපට විහිළු කරයි’, ‘කො​ෙහද අයිසේ යාළුවෝ’, ‘කරපං නැත්තං මැරියන්’ එබඳු වැකි කිහිපයකි.

මම මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කරන්නට යෙදුණු පරිදි අධික වැඩ සමුදායක් සහිතව දෙසතියක් බන්ධනාගාරයේ රැඳෙන්නට සිදු වූ කරුණ අනාවරණය කරමින් මෙම ලිපිය අවසන් කරන්නට බලාපොරොත්තු වෙමි. 2000 වසරේදී මම අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්‍ඨ සහකාර ලේකම් තනතුරේ රාජකාරියේ නියැළී සිටියෙමි. එවකට අධිකරණ අමාත්‍ය ධුරය හෙබ වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිරකරුවන්ගේ සුබසාධනය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් සැකසීමේ කාර්ය මා වෙත පවරනු ලැබීය. එම වාර්තාව සැකසීම පිණිස සති දෙකක් පුරා මට සම්පූර්ණ කාලය ගත කරන්නට සිදුවූයේ වැලිකඩ බන්ධනාගාරයෙහිය. එහිදී මා ලද සත්‍ය අත්දැකීම් මෙම ලිපියට පාදක වූ බැව් සඳහන් කරනු රිසියෙමි.

ආචාර්ය ගාමිණී කාරියවසම්

Powered by Blogger.