දුමින්දට දුන් තීන්දුවේ සියලූ තොරතුරු මෙන්න !


බස්නාහිර පළාත් සභා ඡුන්දය නිමාවෙන්නට තව තිබුණේ පැයකට, එකහමාරකට ආසන්න කාලයක් පමණි. මුල්ලේරියාව වල්පොළ හන්දියේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය ඉදිරිපිටදී මුණගැසෙන්නේ එකම පිලේ දේශපාලනය කෙරුවද ජන්මාන්තර වෛරයකින් පෙළුණු කණ්ඩායම් දෙකකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර සහ ඔහුගේ ආධාරකරුවන් කණ්ඩායමක් මුල්ලේරියාව සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය ඉදිරිපිට පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවකුගේ නිවසට පැමිණ සිටියෝය. පාරේ අනිත් පසින්, ඡන්ද උණුසුම දරාගත් කොළොන්නාවේ ශ‍්‍රීලනිප සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිසකි.
ඔවුන්ගේ පැමිණීමත් සමඟ කිසියම් දරුණු වෙඩි තැබීමක් සිදු වූ අතර ඒ සමඟම කොලොන්නාව ප‍්‍රදේශය එකම යුද පිටියක් බවටත්, රටටම ගිනිගත් ප‍්‍රවෘත්තියක් බවටත් දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුව පත්වී තිබුණි.
සිදු වූ වෙඩි හුවමාරුවකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනකු මියගොස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
දරුණු වෙඩි ප‍්‍රහාරයකට ලක්වී බරපතළ තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හදිසි මූලික ප‍්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටියේය.
වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ප‍්‍රතිකාර සඳහා නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.
භාරත ඝාතනය මැද්දෙන් ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සිය පියාගේ දේහය බදා වැළපෙන අයුරු රටම කම්පනයට ලක් කළේය. ඒ 2011 වසරේ ඔක්තෝබර් අට වැනිදාය.
මහාධිකරණ විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප‍්‍රකාශ කරන්නේ, එදා කොළොන්නාවේදී ඇතිවූ ‘යුද්ධය’ ගැනය. තීන්දුව ලැබුණේ, දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම වීමෙනි.
හිරුණිකා සිය සැමියා හිරාන් සමග වසර ගණනාවක් පුරා සිය පියා වෙනුවෙන් කඳුළු සලමින් උසාවි ගානේ කාලය ගතකළ සහ නින්දා අපහාසවලට මුහුණ දුන් භාරත දියණිය, එදා උසාවි බිමෙන් එළියට පැමිණියේ තමන් නඩුවෙන් දින්නා යන හැඟීමට අමතරව දුක්වෙමින් සහ හඬා වැටෙමින්ය. ‘ආණ්ඩුව වෙනස්වුණු නිසා සමහර විට මේ තීන්දුවත් වෙනස්වුණා වෙන්න පුළුවන්. අලූත් ජනාධිපතිවරයෙක් මේ රටට පත්ව තිබෙන නිසාත්, නීතියේ ස්වාධීනත්වය නිසාත්, අද අපට සාධාරණ තීන්දුවක් ලැබුණේ. නමුත් ඒ තීන්දුව ගැන මට සතුටක් නැහැ. තව කෙනකුට කරදරයක් වෙන එක දිහා බලලා අපිට සතුටු වෙන්න බැහැ. හැම කෙනාටම ලබා දුන්නේ මරණ දඬුවම. නමුත් අපි අවුරුදු 5 ක් විඳපු දුකට සාධාරණයක් වුණා. මාත් අම්මත්, දුක් නොවුණු කල්පනා නොකරපු දවසක් නැති ගානයි. අපිට නිතරම තාත්තාගේ කටහඬ ගෙදරදී ඇහුණා.’ එදා භාරත දියණිය සහ මෙනවියක් වූ ඇය අද පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ය.
දේශපාලන බලයේ වෙඩි සෙල්ලම්, එහෙන් ගැහිලි මෙහෙන් ගැහිලි, රැවුම් ගෙරවුම්, ආදියේ සිට කඳුළු කතා, අනුකම්පා ඡුන්ද ආදිය සමඟ වසර පහක් පුරා දෝලනය වූ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දු ලැබෙන දිනය දෙස රටම බලා සිටියේය. විත්තිකරුවෝ සහ පැමිණිලි පාර්ශ්වය දෙගිඩියාවෙන් උසාවි බිමට පැමිණෙන අතර එසැණින් රටටම මේ සිදුවීම වාර්තා කරන්නට මාධ්‍ය නාලිකා කැමරා සූදානම් කරගෙන සිටියහ.
භාරත ලක්ෂ්මන් ඝාතනය, රටේ පැවති දේශපාලන සිතියම වෙනස් කරන තැනකට පවා ගමන් කරමින් තිබුණි. භාරතගේ දේහය, මල් ශාලාවේ ඉදිරි වැඩකටයුතු සඳහා සූදානම් කෙරෙන අතරේ එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ දුමින්ද සිල්වා හිසට වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බව මාධ්‍ය වාර්තා කළේය. එදින පස්වරු 7.00 ට පමණ රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයය පැවසුවේ දුමින්දගේ හිසට වෙඩි පහක් වැදී ඇති නිසා සැත්කමක් කළ බවත් සැත්කම අවසන් වන තුරු ඔහුගේ තත්ත්වය කිව නොහැකි බවය. එතැන් සිට දුමින්ද සිල්වා රෝගියකු වනවාට අමතරව ඒ ගැන සැක කරමින් සමාජය පුරා කට කතා ගෙතෙන්නට පටන් ගත්තේය. හෙලිකොප්ටරයකින් කොළඹ සිට ජයවර්ධනපුරයට ගෙනා දුමින්ද, සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ආරෝග්‍ය ශාලාව වෙත ඇතුළත් කරන ලද්දේ පුද්ගලික ජෙට් යානයකින් බවට වාර්තා විය. සිංගප්පූරුවේදී යම් සුවයක් ලබා දුමින්ද යළි පැමිණියේය. චි ‘මට කිසිම දෙයක් මතක නැහැ’ නම් අතිශය ජනප‍්‍රිය වූ වාක්‍ය දුමින්ද විසින් ප‍්‍රකාශ කරන්නේ, මේ පැමිණීමෙන් අනතුරුව, භාරත ඝාතනය පිළිබඳව පොලිස් පරීක්ෂණයේදී ප‍්‍රකාශයක් ලබා දෙමිනි.
1979 දී කොළොන්නාව ආසනයෙන් ක‍්‍රියාකාරී දේශපාලනය ඇරඹූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා 1994 මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු බවට පත්වූවේය. ඒ ඔහුගේ දේශපාලන ගමනේ උඩම තැනය. භාරත සම්බන්ධයෙන් පසු කාලයේදී එතරම් හොඳ කතා රට පුරා ඇසුණේ නැත. කොළොන්නාව ආසනය, භාරත පරාජය වීම සහ ඔහු දේශපාලන වශයෙන් පහළට ඇදවැටීමත් සමඟ ඒ වන විට ඉහළ නගිමින් සිටි දුමින්ද, සිය දේශපාලන පිටිය බවට ද කොළොන්නාව පත් කර ගැනීමත් සමඟ භාරත – දුමින්ද ‘යුද්ධය’ ඇවිලෙන්නට පටන් ගත්තේය.
ඝාතනයට ලක්වූ සිය පියාගේ දේහය ඔක්තෝබර් 12 වැනිදා උමගිලිය පිටියේ ඉදි කළ චිතකයක දැවෙද්දී ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ සටන ඇරඹුවාය. ඒ සමඟ භාරත – දුමින්ද යුද්ධයේ නව පරිච්ෙඡ්දය ආරම්භ විය. ඒ හිරුණිකා – දුමින්ද යුද්ධය ය. මාධ්‍ය සටන්, දේශපාලන සටන්. ෆේස් බුක් සටන් ආදියෙන් ක‍්‍රියාත්මක වූ එය අවි හරඹයකට නොගියා පමණය.
පියාගේ මරණය වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා දිගින් දිගටම සටන් කළ හිරුණිකා, ඒ මතින්ම ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසුණාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය දේශපාලනයේ සංධිස්ථානයකට පත් කරමින් බස්නාහිර පළාත් සභාව සඳහා තේරී පත් වූ අතර 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයට, දින ආසන්න වෙද්දී තීරණාත්මක පියවරක් තබමින් ඇය පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කළා ය.
ආණ්ඩු පෙරළියෙන් පසු විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ‘භාරත ඝාතන නඩුව’ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතාගෙන් ඉල්ලීමක් කරන ලද්දේය. එයට අනුමැතිය ලැබී, ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්. සී. බී. එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගේ යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ භාරත ඝාතන නඩුව විභාග කිරීම සිදු විය.
2011 ඔක්තෝබර් දොළොස් වැනිදා සාක්ෂි විමසීම ආරම්භ වූ භාරත ඝාතන නඩුව, එදින සිට දින පනස් දෙකක කාලයක් පුරා සාක්ෂි විමසූ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවෝ හතළිස් දෙකක් සාක්ෂි ලබා දුන්නෝය. භාණ්ඩ අසූ හයක් සහ ලේඛන 126 ක් නඩු භාණ්ඩ ලෙස පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද්දේය. සක්ෂි විභාගය අතරේදී විනිසුරු මඬුල්ල භාරත ඝාතනය වූ සහ දුමින්දට වෙඩි වැදුණු අපරාධ ස්ථානය මුල්ලේරියාව වල්පොළ හන්දිය පරීක්ෂා කිරීම සඳහා ද ගියහ.
වසර එකහමාරක් පුරා රටේ ජනප‍්‍රිය නඩුවක් වූ භාරත ඝාතන සිද්ධිය පිළිබඳ නඩු විභාගය පසුගිය ජුලි මාස 14 වැනිදා අවසන් වූ අතර, තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම, සැප්තැම්බර් අට වැනිදාට නියම විය.
පසුගිය බ‍්‍රහස්පතින්දා කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණය අවට විශේෂ කාර්ය බළකාය සහිතව දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණේ, රටම එසැණින් බලාපොරොත්තු වෙන තීන්දුව නිසාය.
උදෑසන නවයයි තිහ පමණ වන විට දුමින්ද සිල්වා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ, ඔහුගේ පියා විස්න්ස්ට් සිල්වා සහ තම සොහොයුරිය ද සමඟය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ උදෑසනම අධිකරණ භූමියට පැමිණ සිටි අතර, දියණිය හිරුණිකා නඩුව ආරම්භයට සුළු මොහොතකට පෙර අධිකරණයට පැමිණියාය.
විත්තිකරුවන් විත්තිකුඩුවට නැංවූ පසු උදෑසන 10.40 ට පමණ විනිසුරු අධිකරණයේ අසුන් ගත් අතර, සුළු මොහොතක පමාව පිළිබඳව කනගාටුව පළ කරමින් තීන්දුව ප‍්‍රකාශ කිරීමේ කාර්යය ආරම්භ විය. පිටු 297 කින් යුත් නඩු තීන්දුවේ වැදගත් කොටස, විනාඩි විසිපහක පමණ කාලයක් විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය විසින් ප‍්‍රකාශ කරමින් තීන්දුව ප‍්‍රකාශ කිරීම ආරම්භ කළාය.
නඩුවේ පළමු වැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මෙල්, තෙවැනි විත්තිකරු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත් වැනි විත්තිකරු සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි විත්තිකරු ජනක බණ්ඩාර ගලගොඩ සහ 11 වන විත්තිකරු දුමින්ද සිල්වා යන පිරිස වරදකාර ලැයිස්තුවට ඇතුල්වූ අතර ඔවුන් සියලූ දෙනාට මරණ දණ්ඩනය නියම කරනු ලැබීය. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චූදිතයන් ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ නියෝග කරන ලද්දේය.
මෙම නඩුවේ 11 වැනි විත්තිකරු වූ දුමින්ද සිල්වාගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම නිසා මෙම සිදුවීම, වී ඇති බවට පද්මිණි එන්. රණවක මහත්මිය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පැවසුවාය. අධිකරණ වෛද්‍ය වාර්තා අනුව දුමින්ද සිල්වා මත්පැන් පානය කර ඇති බවටත් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බවටත් ප‍්‍රකාශ කළ විනිසුරුවරිය, දුමින්ද සිල්වාගේ නායකත්වය මෙම සිද්ධියට හේතු වී ඇති බවට තීන්දු කළාය. විනිසුරු පද්මිණි රණවක මහත්මියගේ තීන්දුවට තමන් එකඟ බව විනිසුරු එම්. බී. සී. එස්. මොරායස් මහතා විවෘත අධිකරණයේදී ප‍්‍රකාශ කළේය.
එමෙන්ම එම විත්තිකරුවන් පස්දෙනා අතරින් පළමු වැනි විත්තිකාර පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මැල් නමැත්තා 1, 9 හා 17 යන අධිචෝදනා තුනට ද වරදකරු බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම චෝදනා 3 ට ජීවිතාන්තය දක්වූ සිරදඬුවම් හා වසර 20 යි මාස හයක සිර දඬුවමක් ද නියම කළහ. නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික‍්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ජන්දදායකයන් හට ගිනි අවි භාවිත කරමින් සාපරාධී බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීම, ඇතුළු චෝදනා 10 කට වරදකරුවන් කර රුපියල් 40,000 බැගින් වූ දඩ මුදලක් ද ගෙවීමට විත්තිකරුවන්ට අධිකරණය නියෝග කළේය.
විනිසුරු මණ්ඩලයේ දෙදෙනකු එක් තීන්දුවක් සහ සභාපති විනිසුරු විසින් සම්පූර්ණ වශයෙන් ඊට වෙනස් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කිරීම මෙම නඩුවේ විශේෂත්වය විය. නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා 17 න් විත්තිකරුවන් 13 දෙනාම නිදොස්කොට නිදහස් කළ යුතු බව එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දු ප‍්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. 3 වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් නමැත්තා එම ඝාතනයෙන් පසුව ඉන්දියාවට පලාගොස් සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විත්තිය ප‍්‍රබල ලෙස මතු කළ පැමිණිල්ලේ සාක්ෂිවල ඌනතාවන් බිඳ දැමීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් සිය තීන්දු ප‍්‍රකාශය මගින් සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නඩුවේ විත්තිකරුවකු අත්අඩංගුවට ගැනීමක් වැනි කරුණක් පිළිබඳව අධිකරණය හමුවේදී සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි මගින් තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීමක් මගින් සමස්ත නඩු ක‍්‍රියාදාමයට බලපාන්නේ යැයි ද සභාපති විනිසුරුවරයා සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.
භාරත ලක්ෂ්මන් සහ තවත් තිදෙනකුගේ මරණ සිදුකිරීම සම්බන්ධයෙන් ඇති චෝදනාවට දඬුවම ලෙස මරණ දඬුවම නියම කළයුතු බවත් එයට පෙර පැවසිය යුතු යමක් ඇත්නම් පවසන ලෙසත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.
‘මං කිසි දෙයක් කරලා නැහැ. මං මේ කිසිදේකට සම්බන්ධ නැහැ. මේ සියලූ දේවල්වලට මං නිර්දෝෂී කෙනෙක්…’ යැයි දුමින්ද සිල්වා සිය අවසන් ප‍්‍රකාශය කෙටියෙන් සිදු කළේය.
අනතුරුව අධිකරණ ශාලාවේ රැස්ව සිටි සියලූ දෙනා නැගී සිටි අතර අධිකරණ ශාලාවේ විදුලි බුබුළු නිවා දමා විදුලි පංකා අක‍්‍රීය කොට විනිසුරු මඬුල්ල විත්තිකරුවන් හට මරණ දඬුවම නියම කළහ.
මනාප යුද්ධයේදී මහා සෙන්පතියකු සේ ප‍්‍රචාරණයේ යෙදුණු දුමින්ද සිල්වා ඉදිරිපත් වූ සියලූ මැතිවරණ වලදී ජ්‍යෙෂ්ඨයන් පරදා ජයග‍්‍රහණයේ මුලටම පැමිණ සිටියේය. කායවර්ධන ව්‍යායාම මගින් ගොඩනඟා තිබූ සිත් ගන්නා සිරුර සහ තාරුණ්‍යය නිසා, ඔහු කෙරෙහි වෙනත් දේශපාලනඥකුට නොමැති ආකර්ෂණයක් සමාජය තුළ පැතිරී ගියේය. එය සමහර විට ප‍්‍රසංශාව නොව අපහාසය ද දුමින්ද කරා රැගෙන ආවේය.
කෙසේ වෙතත් මරණ දඬුවම සියල්ල යට කරමින් දුමින්ද සොයා පැමිණියේය. වසර දෙකකට ආසන්න කාලයක් මරණ දඬුවම සඳහා සූදානම්ව බන්ධනාගාර ජීවිතයක් ගත කළේය. මරණ දඬුවම සඳහා නියම වූවන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ සී වාට්ටුව හා බන්ධනාගාර රෝහල තුළ වසර දෙකක් ගත කරනවා යනු මැරි මැරී ඉපදීමක්මය. දුමින්ද උපත ලබන්නේ යමක් කමක් ඇති ව්‍යාපාරික පවුලකය. රටේ ප‍්‍රබල විද්්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයකම අයිතිකරු වන්නේ ඔහුගේ සහෝදරයා ය. මේ නිසා ද දුමින්ද සම්බන්ධයෙන් දේශපාලනය ඉක්මවා ගිය ඉරිසියා සහගත වෛරයක් සමහරු අතර පැතිරී තිබුණි. දුමින්දට මරණ දඬුවම ලබාදුන් තීන්දුවේදී ඔහුව නිදහස් කරන ලෙස තීන්දුව ලබාදුන් සභාපති විනිසුරු වූ ශිරාන් ගුණරත්න මහතාට පවා වෙබ් අඩවි මඟින් මඩ ප‍්‍රහාර එල්ල කරන ලද්දේ දේශපාලන සහ මෙකී දුමින්ද වෛරය මත පිහිටන ලද කණ්ඩායම් විසිනි.
දුමින්ද ඇතුළු පිරිසට මරණ දඬුවම ලද දිනයේම ඔහුගේ පවුලේ පිරිස පවසන ලද්දේ මෙම තීන්දුව උදෙසා තමන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. දුමින්ද සිල්වා ඇතුළුව සියලූම විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් එදිනම ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයට දන්වා සිටියේ මෙම තීන්දුවට එරෙහිව තම සේවාදායකයන් අභියාචනාධිකරණයේ පිහිට පතන බවය.
ඒ අනුව සෑම පුරවැසියකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් මහාධිකරණයේදී දුමින්ද සිල්වා මහතාට නොලැබුණ බව සඳහන් කරමින් අභියාචනය ගොනු විය.
ත‍්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද නඩු තීන්දුවක් හෙයින් අනෙකුත් මහාධිකරණ නඩු තීන්දු මෙන් ඊට එරෙහි අභියාචනා විභාග කිරීමට අභියාචනාධිකරණයට නෛතික ප‍්‍රතිපාදන නොමැති වීම මත මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
එවැනි ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක නඩු තීන්දුවක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී වුවද නෛතික ප‍්‍රතිපාදන සැලසී ඇත්තේ පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට.. පමණක් වන හෙයින් මේ සඳහා අගවිනිසුරුවරයා විසින් තම ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබීය.
අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එකී අභියාචනය ප‍්‍රථම වරට 2017 නොවැම්බර් මස 27 වැනිදා කැඳවා මූලික කරුණු තහවුරු කිරීම සඳහා නීතිපතිවරයාටත් පෙත්සම් පාර්ශ්වයටත් දින නියම කරනු ලැබීය.
ඒ අනුව මූලික කරුණු තහවුරු කිරීමේදී මෙම අභියාචනා විභාගයට නොගෙනම ඉවත දැමිය යුතු බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මඟින් නීතිපතිවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් කරන ලද ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ප‍්‍රතික්ෂේප කළහ. ඒ අනුව මාර්තු මස 26 හා 27, මැයි මස 08, 10, 14, 18, ජුනි මස 04, 06, 13, 18, ජූලි මස 18, 20 හා 25 යන දිනවලදී අභියාචනා විභාග (දිනය පුරාම) සිදු කෙරිණි.
මෙලෙස පුරා දින 04 ක මූලික කරුණු විමර්ශනය හා තවත් පුරා දින 14 ක් තරම් වූ දීර්ඝ පැය ගණනාවක් තුළදී සිදු වූ අභියාචනා විභාගයේදී ඉදිරිපත් වූ සැලකිරීම් තුළින් ප‍්‍රකාශ වූ කරුණු සම්භාරය අතරින් වඩාත්ම ඉස්මතු වූ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය වූ කරුණු කිහිපයකි.
හිඹුටානේදී අහම්බෙන් හමු වූ දෙපිරිස අතර බහින්බස්වීමක් හටගත් අවස්ථාවේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා දුමින්ද ආපසු හැරී යද්දී භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා විසින් හිසටම තැබූ වෙඩි පහරවල් දෙක මඟින් දුමින්ද සිල්වා මළ කඳක් මෙන් ඇද වැටුණු බවත් හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වූයේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පිළිගැනීම මෙම නඩු විභාග යේදී සිදු වූ වඩාත් වැදගත් සිදුවීමක් විය.
දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ අනුජ පේ්‍්‍රමරත්න සිය අවසන් සාක්ෂි සම්පිණ්ඩනය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය පමණක් නොව පැමිණිලි පාර්ශ්වය විසින්ද ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින්ද ප‍්‍රකාශ කිරීම අනුව නිරවුල්ව තහවුරු වී ඇත්තේ බහින්බස් වීමකින් පමණක් අවසන් වීමට ගිය සාමාන්‍ය සිදුවීමක් භාරත පාර්ශ්වය විසින් දුමින්ද සිල්වාට වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීමත් සමගම ජීවිත ගණනාවක් බිලිගත් බරපතළ ඛේදවාචකයක් බවට එය පත්වූ බවය.
එකී කාරණා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා නීතිපතිවරයා නියෝජනය කළ අභියාචන විභාගයේදී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව නීතිපති දෙපාර්තමේන්තුව විසින්ද පැහැදිලිව පිළිගන්නා ලදී. නමුත්, මෙම නඩුවේ මහාධිකරණ විභාගයේදී දුමින්ද සිල්වාට වෙඩිවැදීමට පෙර භාරතට වෙඩි වැදුණු බවට 27 වැනි සාක්ෂිකරු වූ සංජීව ප‍්‍රසාද් විසින් ප‍්‍රකාශ කරන ලදී. සිද්ධියෙන් දින හයකට පසුව ඔහු විසින් ලබාදෙන ලද මෙම ‘සාක්ෂිය’ ගොතන ලද්දක් බවට දුමින්ද පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබීය. ඔහු එලෙස ගොතන ලද සාක්ෂියක් දීමට ඉදිරිපත්ව ඇත්තේ අනෙකක් නිසා නොව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පේ්‍්‍රමචන්ද්‍ර පවුලත් සමගම එකට ජීවත් වෙමින් සහ කලක් රැකියාවද කොට පසුව ඔහුගේ මාර්ගයෙන් වරාය අධිකාරියේ රැකියාවක්ද ලබාගෙන දැනටද එම නිවසේ සෑම සියලූ කටයුත්තකටම උදවු පදවු කරමින් මෙම පුද්ගලයා ජීවත් වන නිසා බව ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පෙත්සම් විභාගයේදී සඳහන් කළේය.
දුමින්ද ඇතුළු පිරිසගේ අභියාචනය පිළිබඳව මාධ්‍ය පමණක් නොව දේශපාලන ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුද නෙත් යොමා බලා සිටියේය. තීන්දුව නිකුත්වීමට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය, තමන්ගේ සුපුරුදු රිද්මයට පිවිසෙමින් ආවේගාත්මක කතාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විය. තමන්ට එරෙහිව විද්‍යුත් මාධ්‍ය දෙකක් සහ පුවත්පත් විසින් පළ කර ඇති පුවතක් සම්බන්ධව සඳහන් කළ ඇය, දුමින්දගේ සොහොයුරාට අයත් නාලිකාවට සහ එහි උදෑසන පුවත්පත් පිළිබඳ වැඩ සටහන ඉදිරිපත් කරන මාධ්‍යවේදී රංගන ද සිල්වාට ද දොස් තබන්නට වූවාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිළිගත්තේ යැයි එම නාලිකා විසින් වාර්තා කිරීම ගැන විරෝධය පළ කරමින් මන්ත‍්‍රීවරිය මේ බව බව කියා සිටියාය.
මහින්ද රාජපක්‍ෂ කාලයේ දුමින්ද සිල්වා සමග හැප්පුනු තමනට ජනාධිපති මෛත‍්‍රිපාල, අගමැති රනිල් වික‍්‍රමසිංහ එක්ක සිටියදී ඔවුන් දෙදෙනා සමගින් දුමින්ද සිල්වා සමග හැප්පෙන එක මහලොකු දෙයක් නොවෙන බවද ඇය මෙහිදී සඳහන් කළාය. එදින පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද කෙළින් නොකියා පසුදා නිකුත් වන යම් නඩු තීන්දුවක් පිළිබඳව සඳහන් කළේය. හෙට දිනයේදී මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් ලැබෙනු ඇති බවට තොරතුරු ඇති බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මාධ්‍ය හමුව අතරතුරදී පුද්ගලයන් දෙදෙනකුටද අමතා එම තොරතුර තහවුරු කරගත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, පසු දිනයේදී තීන්දුව ලබාදීමට නියමිත නඩුවකින් අදාළ විත්තිකරු නිදොස් කර නිදහස් කරනු ඇති බවට තමන්ට 99% ක් විශ්වාස බවයි. එසේ වුවත් එම නඩුව කුමක්ද යන්න ඔහු සඳහන් නොකළේය. මේ උණුසුම මධ්‍යයේ, පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ සියලූ පුවත්පත් සිය පළමු පිටුවෙන් වාර්තා කර තිබුණේ දුමින්දගේ තීන්දුව එදින ලබා දෙන බවය. සිය ඥාතියාගේ ඉරණම විසඳෙන තීන්දුව පිළිබඳව එසැණින් දැන ගැනීමට දුරු රට සිටින දුමින්දගේ නෑදෑ හිතවතුන් කලින්ම දින වෙන් කරවාගෙන ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියේය. අලූත්කඬේ උසාවි භුමියේ පිවිසුම් දොරටුව, මාධ්‍යවේදීන්ගෙන් එදින උදේ පිරී ඉතිරී ගොස් තිබුණි. බන්ධනාගාර වෑන් රථයෙන් දුමින්ද ඇතුළු පිරිස බසිනවාත් සමගම මාධ්‍ය සිය කැමරා ඒ දෙසට මානන්නට විය. රෝගී තත්ත්වයකින් පසු වූවත්, ජීවිත අපේක්ෂාවේ බලාපොරොත්තුව රඳවා ගත් ලා සිනහවක් සමග දුමින්ද සිල්වා වෑන් රථයෙන් බැස ගත්තේය.
පස්වරු 1.20 පමණ වන විට දුමින්ද ඇතුළු පිරිසගේ අභියාචනය පිළිබඳ අවසන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නිකුත් කළේය.
පළමුවැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මැල් නමැති දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා නිදොස් කොට නිදහස් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දුමින්ද සිල්වා, ඞී. එම්. සරත් කුමාර බණ්ඩාර සහ චමින්ද රවි ජයනාත් යන තිදෙනාගේ අභියාචනා ඉවතට දමන්නට තීන්දු කරන ලද්දේ, ඔවුන්ගේ මරණ දඬුවම යළිත් වරක් තහවුරු කරමිනි.
මනෝජ් අබයදීර
Powered by Blogger.