යාපනය නගරයේ ආරක්ෂාව තර කරයි - පොලිස් මාර්ග භාධක යොදා පරීක්ෂාවට


 යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.  ඒ ”ආවා” කල්ලියේ සාමාජිකයින් පසුබ ගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රීක්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර යාපනය මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අධිකරණය මගහරිමින් වරෙන්තු ලබා සිටි පුද්ගලයින් හා බීමතින් රියපැදවූවන් මෙන්ම විවිධ වැරදි සිදුකල පුද්ගලයින් ඒ අතර වෙනවා.

කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මේ සම්බන්ධයේන් විරෝධය දක්වනවා. ඒ  සාමාන්‍ය වැසියන්ට මෙම පරීක්ෂන කටයුතුවලින් බලපෑම් එල්ල වීම හේතුවෙන් බවයි ඔහු කියා සිටියේ.

 යාපනයේ ජනතාව ”ආවා කල්ලිය” ඇතුළු කල්ලිවලට බියේ ජීවත් වන අතරතුර පොලීසිය ද මහමග යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදිය ද පරීක්ෂා කරමින් සහ හැදුනුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවති වාතාවරණය යාපනයට පැමිණ ඇති බවටත් මෙම තත්ත්වය තවත් ඉදිරියටත් පැවතියහොත් දැනට කඳවුරුවල සිටින හමුදා සේනාංකද මාර්ගවලට පිවිස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මීට වඩා වෙනත් ක්‍රම අනුගමනය කිරීම වඩා වැදගත් බවයි  උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් වැඩිදුරටත් සඳහන් කළේ.
Powered by Blogger.