ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග වදින අපේ රටේ සූරූපී කෙල්ල ක්‍රිශාන්ති




 ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික කතක් තරඟ වැදීමේ පුවතක් වාර්ථා වෙනවා. ඒ ක්‍රිශාන්ති  වින්නරාජායි.

 ක්‍රිශාන්ති අපේ රටේ ඉපද  පසුගිය වකවානුවේ පැවති වර්ගවාදී අර්බුද නිසා ඇගේ මවුපියන් වන සූති සහ එලී වින්නරාජා සමග ඇමෙරිකාව වෙත ගිය කාන්තාවක් වෙනවා.

ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයට ගිය ක්‍රිෂ්ගේ මවට හා පියාටද බැල්ටිමෝර් රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව සැලසිණු අතර, බැල්ටිමෝරයේ වුඩ් බි්‍රජ් ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමට ක්‍රිෂ්ට අවස්ථාව සැලසුනා. උසස් අධ්‍යාපන කටයුතු ඇය සිදු කළේ වුඩ්ලන්ඩ් උසස් පාසලෙන්.

අනතුරුව යේල් සරසවියෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම අණුක විද්‍යාව පිළිබඳ බී.එස්.සී උපාධියද හිමිකරගත් ඇය  බුද්ධිමත් තරුණ සිසුන්ට හිමිවන මාර්ෂල් ශිෂ්‍යත්වය ලබා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ර්.ර්ථීඩඪත උපාධියද හිමිකර ගනිමින් යේල් නීති විද්‍යාලයෙන් නීති උපාධියද නිම කිරීමට සමත් වී තිබෙනවා.


ක්‍රිෂ් උසස් අධ්‍යාපනය ලද කාලය තුළ විලියම් නෙල්සන් කොන්වෙල් තිළිණය, බෙන්ජමින් ෂාර්ප්ස් තිළිණය, ජෝසප් පාකර් තිළිණය, පොටර් ස්ටුවර්ඩ් තිළිණය සහ තුර්මන් ආර්නෝල්ඩ් තිළිණය වැනි විශිෂ්ට සිසුන් වෙනුවෙන් පිදෙන තිළිණද හිමිකරගත් අති දක්‍ෂ සිසුවියක්.



නීති ක්‍ෂේත්‍රයේ රැකියා කීපයක නිරත වූ ක්‍රිෂ් 2011 ඔක්තෝබර් මාසයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරු වූ විලියම් බර්න්ස් සහ තෝමස් නයිඩ්ස් දෙදෙනාගේ ජේ‍යෂ්ඨ උපදේශිකාවක ලෙස පත්වීමක් ලැබ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පෞද්ගලික අංශයේ ආයෝජන, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සබඳතා, සෞඛ්‍ය පිළිබඳ සංවර්ධන උපාය මාර්ගයන්, ආහාර සුරක්‍ෂිතතාව, දේශගුණික වෙනස්කම්, තරුණ හා ආගමික නිරතවීම්, ගෝලීය කාන්තා ගැටලු සහ අප්‍රිකාවට හා මැද පෙරදිගට අදාළ කලාපීය ගැටලු ආදී විෂයයන් සඳහා තම උපදේශන ලබා දුන්නා.


එසේම ඇය ජෝජ් ටවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය සහ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දේශකවරියක ලෙසද කටයුතු කළ ඇය වසර 2015 මුල් භාගයේදී ක්‍රිෂ්, මිෂෙල් ඔබාමාගේ නව ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂ ධුරයේ වැඩ භාර ගැනීමට සමත් වී තිබෙනවා.

එතැනින් නොනැවතුනු ඇය ධවල මන්දිරය තුළදී  ‘ලෙට් ගර්ල් ලර්න්’ නම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ගැටවර වියේ ගැහැනු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සහ විදෙස් රාජ්‍යයන් එකට එක් කිරීමේ මෙහෙවරක නිරත වූවා.

ඔබාමා පාලනයෙන් අනතුරුව ධවල මන්දිරයෙන් ඉවත්වූ ක්‍රිෂ් ජෙනරේෂන් ඉම්පැක්ට් නමින් තමන්ගේම සමාගමක් ආරම්භ කලේ ඉන් අනතුරැවයි.

මේ සියලු අත්දැකීම් ඔස්සේ තමන් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බව පසුගියදා ඇය ප්‍රකාශ කර තිබෙනවා.


ක්‍රිෂ් මේ වනතුරු ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ නම් ඇතැම් විට අදටත් ක්‍රිෂාන්ති පමණක් වී වර්ගවාදී යුද්ධයෙන් බැට කන තවත් කාන්තාවක් වී සිටීමට ඉඩ තිබිණි.

නමුත් ඇගේ දෛවය ඊට ඉඩ තැබුවේ නැත.

ගැමුණු රත්නායක

Powered by Blogger.