එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට රට යන්න අවසර



එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෝසමක් මාර්ගයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කරුණු දැක්වූ තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරයා තම සේවාදායකයාට සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා මේ මස 17 වනදා සිට 27 දක්වා කාලසීමාව තුළ ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව පවතින බවයි කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ කූට ලේඛනයක් ප්‍රදර්ශනය කර ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වී තිබුණා.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නා.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බලමින්.

මේ වන විට අධිකරණය භාරයේ ඇති විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ලබාදීමට ද නියෝග කළ විනිසුරු මඬුල්ල, විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව සඳහා තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ද නියෝග කළා.

මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිවයි නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණේ.

Powered by Blogger.