අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 54,819 දෙනෙකු පීඩාවට - අවශ්‍ය සියලූ පහසුකම් කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 54,819 දෙනෙකු පීඩාවට - අවශ්‍ය සියලූ පහසුකම් කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත



අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 16,872කට අයත් පුද්ගලයින් 54,819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.


එමෙන්ම පූර්ණ නිවාස හානි 10 ක් සහ අර්ධ නිවාස හානි 218 ක් ද වාර්තාවන අතර, මේ වනවිට පීඩාවට පත් පවුල් 3602 ක පුද්ගලයින් 11,299 ක් ආරක්ෂිත ස්ථාන 38 ක රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ අතර, ගංවතුර තර්ජනය පහව යන තෙක් තර්ජිත ප්‍රදේශ වල වැසියන් සියලූ දෙනා වෙත අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ වලට ජනාධිපතිවරයා උපදෙස් ලබා  දී තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩි දුරටත් උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ. 

උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම රාජාංගණය, දැදුරුඔය, අංගමුව සහ ඉරණමඩු ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.

අද අලූයම වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබූ අතර, රාජාංගණ ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘතව පවතින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

රාජාංගණය ජලාශයෙන් මුදාහැරෙන ජලය කලා ඔයට එක්වන බැවින් එහි ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා.

කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු එළුවන්කුලම ප්‍රදේශයෙන් ඇණහිට ඇති අතර, ඊට හේතුව වී ඇත්තේ එළුවන්කුලම පාලම මතින් අඩි 3 ක පමණ ජලයක් ගලායන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එමෙන්ම රාජාංගණය වැවේ හදිසි වාන් දොරටු විවෘත කර තිබියදී ඊයේ පස්වරුවේ එම ස්ථානයේ පිහිනමින් සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවෙකු දියේ ගසාගෙන ගොස් මියගොස් තිබෙනවා.

තඹුත්තේගම පොලීසිය සඳහන් කළේ මියගිය සිසුවා තවත් සිසුන් දෙදෙනෙකු සමඟ මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි.

එම සිසුන් දෙදෙනා තරුණයන් කිහිපදෙනෙකු එක්ව බේරාගෙන තිබෙනවා.

මේ අතර පවතින තත්ත්වය  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම සියලූම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.




Powered by Blogger.