මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය දැරීම සම්බන්ධව නීත්‍යානුකූල භාවය සම්බන්ධ පෙත්සම් විභාගය අරඹයි



මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති  බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම දෙවැනි දිනට අද පෙරවරුවේ අභියාචනාධිකරණයේදී ආරම්භ වුණා.


එහිදී 6 වෙනි සහ 13 වෙනි වගඋත්තරකරුවන් වෙනුවෙන් (කැබිනට් අමාත්‍යවරුන්) පෙනි සිටිමින් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මෙම පෙත්සමට එරෙහිව වාචික දේශන ඉදිරිපත් කිරීම සිදු කල අතර, එහිදී ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ මෙම පෙත්සමට අදාළව පෙත්සම්කරුවන් අමුනා ඇති විස්වාසභංගයට අදාල හැන්සාඩ් පිටපත අවසන් පිටපතක් නොවන බවත් එය අශෝධිත පිටපත් වන බවයි.

එය ඉදිරියේ දී සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇති බවත් එවැනි තත්ත්වයක් යටතේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා කරන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරනයෙන් ඉල්ලා සිටියා. එබැවින් පෙත්සම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසින්.

මෙම පෙත්සම අද  කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයී.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවට අවස්ථා දෙකකදී විශ්වාසභංග යෝජනාවන් මගින් සම්මත වී ඇති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනූව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.

එමෙන්ම මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර ඇත.

Powered by Blogger.