සෝපානයක් කඩා වැටී සිදු වූ රගර් ක‍්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

සෝපානයක් කඩා වැටී සිදු වූ රගර් ක‍්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්


කොළඹ - නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක  රගර් ක‍්‍රීඩකයෙකු මරණයට පත් කරමින් සෝපානයක් කඩා වැටී ඊයේ (29) සිදු වූ අනතුර පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා. අධිකරණ නියෝගයක් අනුව මෙම විමර්ශනය සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

අදාළ මරණය, සමාජශාලාවේ නොසැලකිලිමත්කම නිසා සිදුව ඇත්නම්, ඒ පිළිබදව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මීට අමතරව අදාළ විදුලි සෝපානය නඩත්තු කරන ආයතනයෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

සෝපානය, පළමු මහලේ සිට බිම් මහලට කඩාවැටී ඇති ඇත්තේ එහි ප්‍රමාණය ඉක්මවා පිරිසක් ගමන් කිරිම හේතුවෙන් යන්න සම්බන්ධයෙන් ද පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම සෝපානයේ ප්‍රමිතිය පිළිබඳවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් වාර්තාවක් කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලි සෝපානය කඩා වැටීමෙන් මිය ගියේ ප්‍රකට රගර් ක්‍රීඩකයෙකු වූ මාකෝ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන කෝකිල සමන්ද පෙරුම නැමැති තරුණයෙක්.

24 හැවිරිදි ඔහු සී.ආර්.ඇන්ඩ් එෆ් සී. රගර් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම රගර් ක්‍රිඩකයා පෙරේදා රාත්‍රීයේ නවම් මාවතේ මහල් ගොඩනැගිල්ලක 9 වන මහලේ පිහිටි ඇමියුසියම් නැමැති සමාජ ශාලාවට ගොස් තිබෙනවා.

පසුව ඔහු යළි නිවස බලා යාමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් විදුලි සෝපානයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

Powered by Blogger.