පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනා‍ධිපතිවරයා ගත් තීරණය



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනා‍ධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , සමස්ථ ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළේය.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා , ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ , බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාප පෙත්සම් විභාගයට ගැනුණි.

අනතුරුව නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලුණි.

ඉන්පසුව පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 04 05 06 යන දිනයන් හිදී සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේය.

අදාළ දින තුනෙහි මෙන්ම දෙසැම්බර් මස 07 වනදාද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාගය සිදු කළ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබුවේ  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය තීන්දුව ලබාදෙන තෙක් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස  ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන්නා.
Powered by Blogger.