ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳක් අත්අඩංගුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳක් අත්අඩංගුවට



ග්‍රෑන්ඩ්පාස් - හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 45 හැවිරිදි ඇය පමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති  අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල කල්ලි නායකයා ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩි තැබූ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකථනය ඇය පුළුස්සමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.


බ්ලූමැන්ඩල් සංඛ මේ වනවිට පලාගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
26වන දා පෙරවරු 8 ට පමණ ග්‍රෑන්ඩ්පාස් - හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි වැදීමෙන් එක් අයෙකු මියගිය අතර ඔහු එම නිවාස සංකීර්ණයේ පදිංචි 32 හැවිරිදි දිනේෂ් එරංග නමැති ත්‍රිරෝද රථ රියදුරෙක්.

තවත් සිව්දෙනෙකු මෙහිදී තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර, ඔහු ඊයේ ශල්‍යකර්මයකටද ලක් කර තිබුණා.

මේ අතර, තුවාලලැබූවන් අතර සිටි පාදයකට වෙඩි වැදුණු පුද්ගලයෙකු ඊයේ රෝහලෙන් පලාගොස් තිබූ බවයි වාර්තාවුණේ.
Powered by Blogger.