අර්ජුන රණතුංග චෝදනාවෙන් නිදහස් කිරීම සඳහා පුර්ණ වාර්තාවක් කැඳවීමට අධිකරණය නියොග කරයි



දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් පුද්ගලයෙකුට පහරදුන් බවට පැමිණිලි කර ඇතැත් එවැනි පහරදීමක් පිළිබඳව CCTV දර්ශනවලින් අනාවරණ නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නා.

 කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අදාළ නඩුව  අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ අර්ජුන රණතුංග මහතා පැමිණිලිකරුට පහරදී ඇතැයි තහවුරු වී නැත්නම් ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවේ ඇයිදැයි යනුවෙනි.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ, අර්ජුන රණතුංග මහතා විසින් පැමිණිලිකරුට පහරදුන් බවට අනාවරණ වී නැතැත් ඔහුට පහරදීමක් සිදු ව ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙනී යන බවයි.

ඒ අනුව ඔහුට පහර දෙනු ලැබුවේ කවුද කුමන ස්ථානයකදී යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ ය.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම පහරදීමට සම්බන්ධයක් නොමැති නම් ඔහු එම චෝදනාවෙන් නිදහස් කිරීම සඳහා පුර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝගකළා.

 අනතුරුව නඩු විභාගය ලබන මස 01 වන දා යළි කැඳවීමයි නියොග කෙරුණේ.

Powered by Blogger.