ආනයනික කිරිපිටි භාවිතයට සුදුසුද? නැද්ද? දියර කිරි තියෙන්නේ රටේ සමස්ත කිරි අවශ්‍යතාවයෙන් සියයට 10 ක් පමණයි



සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට දේශීය දියර කිරි නිෂ්පාදනය ප‍්‍රමාණවත් වනුයේ රටේ සමස්ත කිරි අවශ්‍යතාවයෙන් සියයට 10 ක් සපුරා ලීමට පමණකි.  ඒ අනුව රටේ ජනතාවගෙන් සියයට 90 කටම සෑහෙන කිරි නිෂ්පාදනයක් මෙරට තවමත් නොපවතී. කරුණු එසේ නම් දේශීයදියර කිරි නිෂ්පාදනය සමස්ත ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් වන තෙක් ජනතාවගේ පෝෂණය විශේෂයෙන්ම ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමට සිදුවනුයේ කිරිපිටි හරහාය. අඩුම තරමේ කිසිදු කල් තබාගැනීමේ රසායනිකයක් යොදා නොගන්නා බවට පිළිගැනීීමක් ඇති දේශීය කිරිපිටි නිෂ්පාදනය රටේ ජනතාවගේ ඉල්ලූමට සරිලන පරිදි වැඩිදියුණු කර තිබුණේ නම් ආනයනික කිරිපිටි පිළිබඳ ගැටලූ පැන නොනැගීමට ඉඩ තිබිණි.

මෙම දිනවල රට තුළ වැඩි කතා බහකට ලක්ව ඇති මාතෘකාවක් වනුයේ ආනයනික කිරිපිටි භාවිතයට සුදුසුද? නැද්ද? යන්න පිළිබඳවයි. මෙම ගැටළුව පැන නැඟී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ආනයනික කිරිපිටිවල ඌරු තෙල් හා අමතර මේදය අඩංගුව ඇති බවට ප‍්‍රසිද්ධියේ සිදු කළ ප‍්‍රකාශයක් හේතුවෙනි.

එම මන්ත්‍රීවරයාගේ කතාවට සහාය පළකරමින් රටේ ජනාධිපතිවරයා මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ආනයනික කිරිපිටි භාවිතයට නුසුදුසු බව ප‍්‍රකාශ කර සිටියහ. මෙයට පෙරද වසර ගණනාවකට පෙර නවසීලනතයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරනු ලබන කිරිපිටිවල ‘ඞීසීඞී’ රසායනිකය අඩංගු බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශ කිරීමත් සමගම කිරිපිටි භාවිතයෙන් ජනතාව තරමක් ඈත් විය.

එම අවස්ථාවේදී අදාළ රසායනිකය අඩංගුව ඇති කිරිපිටි පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසටත් කිරිපිටි වෙනුවට දියර කිරි භාවිත කරන ලෙසටත් ජනතාවට උපදෙස් නිකුත් කෙරුණි. මෙහිදි දියර කිරි භාවිතය ඉහළ නැංවිම අරමුණු වුවද රටේ සමස්ත ජනතාවට සෑහෙන ප‍්‍රමාණයේ දිය රකිරි නිෂ්පාදනයක් මෙරට නොතිබීම නිසා එම කිරිවලට පවතින ඉල්ලූමට සරිලන සැපයුමක් සිදු කිරීමට බලධාරීන්ට නොහැකි විය.

අනෙක් අතට එම කාලයේ දේශීය දියර කිරි කර්මාන්තය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණේ නම් මේ වනවිට අපට කිරිපිටි ගැටලූව පිළිබඳව කතා කිරීමට සිදුවන්නේද නැත.

එහෙත් එවැනි දියර කිරි නිෂ්පාදනයේ වර්ධනයක් සිදු නොකර ඇතමුන් දේශපාලන වේදිකාව තුළ ආනයනික කිරිපිටි භාවිතය නුසුදුසු බවත් ඒවායේ ඌරු තෙල් හා මේදය අන්තර්ගත වීම එයට හේතුවී ඇතැයි හදිසියේ ප‍්‍රකාශ කිරීමද ගැටලූවකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට දේශීය දියර කිරි නිෂ්පාදනය ප‍්‍රමාණවත් වනුයේ රටේ සමස්ත කිරි අවශ්‍යතාවයෙන් සියයට 10 ක් සපුරා ලීමට පමණකි. ඒ අනුව රටේ ජනතාවගෙන් සියයට 90 කටම සෑහෙන කිරි නිෂ්පාදනයක් මෙරට තවමත් නොපවතී. කරුණු එසේ නම් දේශීයදියර කිරි නිෂ්පාදනය සමස්ත ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් වන තෙක් ජනතාවගේ පෝෂණය විශේෂයෙන්ම ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමට සිදුවනුයේ කිරිපිටි හරහාය. අඩුම තරමේ කිසිදු කල් තබාගැනීමේ රසායනිකයක් යොදා නොගන්නා බවට පිළිගැනීීමක් ඇති දේශීය කිරිපිටි නිෂ්පාදනය හෝ රටේ ජනතාවගේ ඉල්ලූමට සරිලන පරිදි වැඩිදියුණු කර තිබුණේ නම් ආනයනික කිරිපිටි පිළිබඳ ගැටලූ පැන නොනැගීමට ඉඩ තිබිණි.

ඇතැම් දේශපාලකයන් මෙන්ම වෘත්තීය සමිති ද යම් යම් මතවාදයන් ඉදිරිපත් කරනුයේ කිසිදු සෙවීමකින් බැලීමකින් හෝ විද්‍යාත්මක පදනමකින් තොරව බව මෙම කිරිපිටි ප‍්‍රශ්නයේදී ද මේ වනවිට සනාථ වී තිබේ.

fea8 2ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, පරමාණුක බල ශක්ති අධිකාරිය යන ආයතන මගින් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට ප‍්‍රථම ආනයනික කිරිපිටි නිසි පරීක්‍ෂාවට ලක් කිරීම නිසා ආනයනික කිරිපිටිවල කිරි හා කිරි මේදය හැරෙන්නට ඌරු තෙල් හා අමතර මේදය කිසිවක් අන්තර්ගතව නොපවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගියදා සහතික කර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් (ආහාර පාලක) විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතාට අනුව ජාත්‍යන්තරව අලෙවි වන කිරිපිටිවල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක ආහාර හා කාෂිකර්ම සංවිධානය ඒකාබද්ධව ආයතනයක් ස්ථාපිත කර තිබේ.

කිරිපිටි සඳහා සකස් කර ඇති ජාත්‍යන්තර ප‍්‍රමිතිය 2018 වසර අවසානයේ යළි සංශෝධනය කර තිබේ. ඒ අනුව ශ්‍රීලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි එස්. එල්. එස්. 731 ප‍්‍රමිතියෙන්් යුක්ත විය යුතු අතර එය ආහාර පනත යටතේ නීතියක් බවට පත් කර ඇතැයි වෛද්‍ය ගම්ලත් කීවේය.

‘‘මෙයට අමතරව ශ්‍රීලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි සාම්පල වරායේදී පරීක්‍ෂා කරනවා. කිරිපිටි මෙරටට අපනයනය කරනු ලබන රටින් සෞඛ්‍ය සහතිකයක්ද කිරිපිටි සම්බන්ධව අපට ලබාදෙනවා. එහිදී එය අපේ රටේ ප‍්‍රමිතියට අනුකූල ද? නැද්ද? යන් පිළිබඳවත් සඳහන් කරනවා. වරායට පැමිණන කිරිපිටි සාම්පල රසායනාගාර මගින් පරීක්‍ෂාවට ලක් කෙරෙන අතර මෙම සියලූ පරීක්‍ෂණවලින් කිරිපිටිවල වෙනත් ද්‍රව්‍ය අඩංගු නොමැති බව ඔප්පු වී තිබෙනවා.’’ යැයිද වෛද්‍ය ගම්ලත් සඳහන් කළේය.

ඔහුට අනුව ලෝකයේ කුමන රටක හෝ කිරිපිටිවල ගැටලූවක් ඇති නම් අනෙක් රටවලටද ඒ පිළිබඳව දැනුම් දෙන අතර මෙතෙක් මෙරටටවැඩි වශයෙන් ආනයනය කරනු ලබන නවසීලන්ත කිරිපිටිවල

ගැටලූවක් ඇති බව පරීක්‍ෂණවලදී ඔප්පු වී නොමැත. දැනට එම ආනයනික කිරිපිටි පරිභෝජනයට නුසුදුසු බවට පැතිරයන කතාවල ද කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව වෛද්‍ය ගම්ලත් පවසයි.

කරුණු මෙසේ නම් ආනයනික කිරිපිටිවල විවිධ අමතර මේද අඩංගුව ඇති බැවින් ඒවා පරිභෝජනය කිරීම නුසුදුසු බවට ප‍්‍රචාරයක් ගෙන යන අයගේ අරමුණ කුමක්දැයි යන්න විමසා බැලීම වටී. ඇතැමුන්ට දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවශ්‍යතාවක් ඇතත් අනෙකුත් ප‍්‍රචාරකකරුවන්ට අවශ්‍යව ඇත්තේ ආනයනික කිරිපිටි පරිභොජනය නතර කිරීම පමණක් බව පෙනී යයි. මන්ද යත් දෙවැනි කාණ්ඩයට අයත් වූවන් ආනයනික කිරිපිටි පරිභෝජනයට නුසුදුසු බව පැවසුවද දියර කිරි පරිභෝජනය කිරීම පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ නොකිරීමයි.

කිරිපිටිවල කිරි, කිරි මේදය, මෙන්ම විටමින් හා ලවණ වර්ග අන්තර්ගතව පැවැතියද එම කිරිපිටි කල් තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යයන් හේතුවෙන් ඒවා මෙරටට ආනයනය කිරීම නතර කිරීමට වුව පුළුවන් බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින්ම ප‍්‍රකාශ කර තිබේ.

ඔහුට අනුව දේශීය දියර කිරි නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවීම නිසා රටේ ජනතාවගෙන් සියයට 90 ක් ම තවමත් පරිභෝජනය කරනුයේ කිරිපිටිය.

මෙරට පිටතින් කිරි තේ පානය කළ ද නිවසකින් පානය කළ ද කිරි තේ කෝප්පයට වැඩි වශයෙන් යොදනුයේ කිරිපිටි මිසක දියර කිරි නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කිරිපිටි ගැටලූව පිළිබඳව පවසනුයේ මෙබන්දකි. ‘කිරිපිටිවල ප‍්‍රමිතිය පිළිබඳව මේ වනවිට සමාජ කථිකාවක් ඇතිවී තිබෙනවා. ශ්‍රීලංකාවේ දියර කිරි කර්මාන්තය දියුණු වන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය ද කැමැතියි. නමුත් එම කර්මාන්තය දියුණු වනතරු එම හිඩැස පුරවනුයේ කිරිපිටි මගිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවිටකත් කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. මතුව ඇති ගැටලූව පිළිබඳව දැනටමත් ජනතාව බියට පත්වෙලා. ළදරුවන්ට කිරිපිටි ලබාදීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කි‍්‍රයාමාර්ග රැුසක් ගෙන තිබෙනවා. ළදරුවන්ට සියයට සියයක්ම මවුකිරි ලබාදීම සිදු කරන එකම රට ශ්‍රීලංකාවයි. ළදරු කිරිපිටි පිළිබඳ ඍජු හෝ වක‍්‍ර ප‍්‍රචාරණය සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා.’’

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දීපිකා සෙනෙවිරත්න මහත්මියට අනුව මෙරටට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි වර්ගයක්ම ආනයනයේදි පරීක්‍ෂා කෙරෙන අතර ශ්‍රීලංකා ප‍්‍රමිති ආයතනයේ රෙගුලාසිවලට අනුව එය සිදුවේ. සෑම කිරිපිටි පැකට්ටුවකම තිබිය යුතු කිරි මේදය ප‍්‍රමාණය සියයට 24 සිට 32 දක්වා පරාසයක පැවතිය යුතු අතර වෙනත් මේද එක් කළහොත් එහි අගය වෙනස් වන බවත් පරීක්‍ෂා කරන ලද කිරිපිටිවල වෙනත් මේදයන් අන්තර්ගතව නොතිබූ බව ඇය අවධාරණය කර සිටින්නීය.

ශ්‍රීලංකා ප‍්‍රමිති ආයතනය පවසනුයේ ද කිරිපිටි සාම්පල පරීක්‍ෂා කිරීමෙන් පසු වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා එහි වාර්තා ශ්‍රීලංකාව රේගුවට ලබාදෙන බවයි.

ශ්‍රීලංකා පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියට අනුව ළදරුවන්ට වසරක් මවු කිරි ලබා දීමෙන් අනතුරුව කිරි ආහාර ලබා දෙනුයේ දරුවාගේ වර්ධනයටයි. එහිදී කිරිපිටි එක් ආදේශකයකි. රටේ මන්දපෝෂණය තුරන් කිරීමට කිරි ආහාර ඉතාමත් වැදගත් වන බව පෙන්වා දෙන වෛද්‍ය ජයතිස්ස මහත්මිය තවමත් මෙරට ජනතාව සමස්ත ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සියයට 50 ක් ලබා ගන්නේ බත් මගින් යැයි අවධාරණය කළාය.

‘‘කිරි හා මාළුවල මිල අධික වීම නිසා ජනතාව තවමත් එම ආහාර ලබා ගන්නේ අඩුවෙනි. විශේෂයෙන්ම වයස අවුරුදු 10 - 19 වයස් කාණ්ඩයේ දරුවන්ගේ ප්‍රෝ්ටීන් අවශ්‍යතාවය සඳහා මෙම ආාහාර ලබා දිය යුතුයි. නැතිනම් දරුවන් නිසි ලෙස උස යන්නේ නැහැ. අධි බර තත්ත්වයක් ඇතිවෙනවා. එහිදී මතුවන පෝෂණ ගැටලූවලට කිරි ආහාර වැදගත්. දියර කිරි භාවිත කළ හැකි නම් මෙම ගැටලූව ඇති වන්නේ නැහැ’ ඇය වැඩිදුරටත් පවසන්නීය.

මෙම කරුණු දෙස විමසා බැලීමේදී පෙනීයනුයේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරියා දක්වාම දියර කිරි හරහා ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලිය යුතු බව පිළිගන්නා බවයි. එහෙත් ගැටලූව වී ඇත්තේ එම කිරි නිෂ්පාදනය ඉල්ලූමට ප‍්‍රමාණවත් නොවීමයි. ඒ නිසාම අකැමැත්තන් වුවද කිිපිටි පරිභෝජනය කිරීමට මෙරට ජනතාවට සිදුව තිබේ.

මෙරට ජනතාව ශරීරය වර්ධනය වීමට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීම වැඩිපුරම සිදු කරනුයේ බත් හා කිරි හරහා බව ප‍්‍රකාශ වී ඇතත් එම ආහාරවල මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් පැවැතීම ඒවා පරිභෝජනය කිරීමට බාධාවකි.

කිරිපිටි පරීභෝජනයට නුසුදුසු යැයි ප‍්‍රචාරණයන් ගෙන යන්නන් වඩාත් උත්සුක විය යුත්තේ මෙරට ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලිය හැකි දියර කිරි, බිත්තර, මාළු හා සහල්වල මිල ගණන් අඩු කර ගැනීමට පියවර ගැනීමටයි. රටට අවශ්‍ය කරන දියර කිරි නිපදවීමේ යාන්ත‍්‍රණය පුළුල් කිරීම ආණ්ඩුවේ වගකීමය.

ඒමන්ති මාරඹේ

No comments

Powered by Blogger.