කොළඹ වරායේ රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දින 6ට රේගුවේ පාඩුව රුපියල් බිලියන 8ක්


 කොළඹ වරායේ රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයත් සමග මේ වනවිට ආනයනික බහාලූම් නිෂ්කාශන කටයුතු සියයට අනූවකින් පමණ පහත වැටී තිබෙනවා.

ඒ අනුව ගෙවීගිය දින හයක කාලය තුළ රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන අටක් පමණ වන බවයි එහි වෘතීය සමිති සඳහන් කළේ.


රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමට විරෝධය පළ කරමින්  කොළඹ වරායේ රේගු නිලධාරීන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

සාමාන්‍යයෙන් දිනකට බහාලූම් 1500-2000 ක් පමණ කොළඹ වරායෙන් නිෂ්කාශනය කෙරෙන අතර මේ වන විට එය 100-200 අතර ප‍්‍රමාණයකට පහත වැටී ඇතැයිද රේගු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

රජය චාර්ල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පිහිටුවන්නේ නැතිනම් මේ සතියේ සිට තම වෘත්තීය අරගලය සමස්ත රජය සේවක වැඩ වර්ජනයක් බවට පත්කරන බවත් වෛද්‍යවරුන්, බැංකු සේවකයන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් හා කන්ටේනර් ප‍්‍රවාහන සංගම් ඇතුළු අංශ ගණනාවක් දැනටමත් ඊට එක්වන්නට කැමැත්ත පළකර ඇති බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනුෂ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.

ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (04 වැනිදා) රේගු වෘත්තීය සමිති නියෝජිතයන් යළි රැස්වීමට නියමිතයි.

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට කොන්දේසි විරහිතව සහාය දැක්වීමට ඊයේ (03 වැනිදා) වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවකින් සමන්විත වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණද තීරණය කර තිබෙනවා.

එමෙන්ම ප‍්‍රතිපත්තිමය තීරණයක් මත ගෙන යන රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත වෘත්තිකයන්ගේ සහාය ලැබෙන බවයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ විධායක සභික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කර සිටියේ

අද කොළඹ වරාය වෙලාගෙන තිබෙන අන්තවාදී ජාවාරම්කාර මාෆියාව රටටම ශාපයක් වී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන් අතර, රේගු නිලධාරීන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලබා දීමට රජය කටයුතු නොකිරීමෙන් දිගින් දිගටම ඇදීයන වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මේ වන විට කොළඹ වරායේ පමණක් බහාලූම් 2000 කට අධික ප‍්‍රමාණයක් සිරවී තිබෙන බවද රේගු වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඊට අමතරව ඔරුගොඩවත්ත සහ තොටල`ග අංගනවලද විශාල කන්ටේනර් තොගයක් සිරවී ඇතැ බවයි ඔවුහුන් සඳහන් කළේ.









Powered by Blogger.