මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් අස්ථි සාම්පලවල වාර්තාව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින්ට භාරදෙයි

මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් අස්ථි සාම්පලවල වාර්තාව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින්ට මේ වන විට භාර දී තිබෙනවා.
අද(16) අලුයම මෙම වාර්තාව ලැබුණු බවයි මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.
ඒ  මහතා පැවසූවේ සමූහ මිනිවල සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය හයෙන් පහක වාර්තා ලැබී ඇති බවයි.

අදාළ වාර්තා බදාදා (20) වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත නිකුත් කරන බවද හෙතෙම පැවසුවා.

සමූහ මිනිවල තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ කොටස් පහකට අදාළ වාර්තා මේ වන විට ලැබී ඇති අතර,අනෙක් සාම්පලය සම්බන්ධ වාර්තාව ඉදිරියේදී ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙ වන විටත් මිනිවලේ පරීක්ෂණ පවත්වන අතර, මිනිවල තුළින්  මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇත.

එයින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, එහි ළමුන් 28දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතියි.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන්නා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි පසු ගිය මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කළා.

Powered by Blogger.