බාලගිරි දෝශය හැදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව සුළු මෙහොතකින් - සියයකට අධික පොලිස් බලඇණියක් ආරක්ෂාවට



දීර්ඝ කාලයක් විවිධ හේතුන්මත කල් අරිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (21) පෙරවරු 10.00ට ආරම්භ වනවා. ඒ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදීයී. . ක්‍රීඩා සංගම් අතරින් මෙරට පැවැත්වෙන උණුසුම්ම නිලවරණය ක්‍රිකට් නිලවරණයයි.


ක්‍රිකට් නිලවරණයේදී සභාපතිවරයෙකු, උප සභාපතිවරුන් දෙදෙනකු, ලේකම්වරයෙකු, උප ලේකම්වරයෙකු, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන ප‍්‍රධාන තුනතුරු 07 සඳහා නිලධාරීන් පත්කර ගැනීම සිදු වනවා.

මෙවර සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග වදින්නේ ශම්මි සිල්වායි. රණතුංග පාර්ශ්වයෙන් ජයන්ත ධර්මදාස සහ කේ මතිවානන්, සභාපති ධුරයට තරග වදිනවා.

මෙවර නිලවරණයේදී මොහාන් ද සිල්වා ලේකම් ධූරයට ද, රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයට ද, තරග කිරීමට අභියාචනාධිකරණයේදී ඊයේ (20) දෙපාර්ශ්වයේ එකගතාව පළ වුණා.

පළාත්, දිස්ත‍්‍රික් සහ අනුබද්ධ යන සංගම් ඇතුලූ ක‍්‍රීඩා සමාජවල සාමාජිකයින් 147 දෙනෙකු අද දිනයේදී සිය ඡන්දය භාවිත කිරීමට නියමිතයි. දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය, ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවයට ද මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී තිබීම විශේෂත්වයක්.

විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රා ජයතිලකගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව මෙම නිලවරණය මෙහෙයවනවා. මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 10 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් නිලවරණය නිරීක්ෂණය සඳහා එක්වනු ඇති.

නිලවරණයේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කුරුඳුවත්ත පොලිසිය විසින් සිදු කරනු ලබනවා. සියයකට අධික පොලිස් බලඇණියක් මෙවර කි‍්‍රකට් නිලවරණයේ ආරක්ෂාවට යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

No comments

Powered by Blogger.