ICC දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්


 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම ගැන සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින් චෝදනා එල්ල වුණා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අදාළ චෝදනාවලට සනත් ජයසූරිය වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර දෙකක ක්‍රිකට් තහනමක් ලබා දීමට තීරණය කළ බවයි.

එමෙන්ම, මෙම කාලවකවානුව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමක නියැළීමට ද සනත් ජයසූරියට නොහැකියි.

ජාත්‍යන්තර කවුන්සිලයට සම්බන්ධ රටවල ද එම තහනම බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු කටයුත්තකට ද සනත් ජයසූරියට සහභාගි වීම තහනම්ය.

ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, තනතුරක් දැරීමට අමතරව නිල උත්සවවලට සහභාගිවීම ද කළ නොහැකි වන බවයි  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පෙන්වා දෙන්නේ.


මේ අකාරයට ම මින් පෙර පරීක්ෂණයකට සහය නොදීමේ හේතු මත හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර 3ක තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබීය.

No comments

Powered by Blogger.