දරුවන් හතරක් හදලා අවුරුදු 27ක් තිස්සේ ගල්ලෙනක ජීවත් වෙන වයෝවෘද්ධ යුවල - Video


අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරන්කඩ ග්‍රාම සේවා වසමට අයත් කොළානයාය නමින් හඳුන්වන හේන්යායක පිහිටි ගල්ලෙනක මේ යුවළ ජීවත්වෙති.

සේරන්කඩ නගරයෙන් හැරී කිලෝමීටර් අටක් පමණ මොරදෙණිය, කොටිකේවෙල පසුකරගෙන කොළානේ යායට යා යුතුය. මේ ගල්ලෙන තුළ ජේ. එම්. බණ්ඩාරමැණිකේ මාතාව සහ ආර්. බී. ධර්මදාස මහාත හුදෙකලා ජීවිතයක් ගතකරති. මනුෂ්‍යයෙකුට ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් ඔවුනට නැත. පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් මොවුනට සිහිනයක් බඳුය.

අවුරුදු අසූවක් වන බණ්ඩාරමැණිකේ මාතාවගේ කොන්ද කුදුවී තිබුණට වෙනත් කිසිම අසනීපයක් ඇයට නැත. මේ යුවළට ජීවත්වීමට තිබෙන එකම ආදායම සමෘද්ධියෙන් ලැබෙන රු. 2000 සහ මහජන ආධාර ලෙස ලැබෙන රු. 250 පමණය.

සමෘද්ධි ආධාරයත්, මහජන ආධාරයත් එකම දිනක ගත නොහැකි බැවින් දින දෙකක් සේරන්කඩ නගරයට යෑමට සිදුවී තිබේ. මහජන ආධාර රු. 250 ගන්නට සේරන්කඩට යන්න රු. 100 ක් වැයවන බව ද ධර්මදාස මහතා පවසයි. කටුමැටි ගසා ඉලුක් සෙවිලි කරගෙන පුංචි පැල්පතක අපි දෙන්නා ජීවත්වුණා. 1992 (අනූ දෙකේ) වර්ෂයේ මහ වැස්සකට අපි හිටිය පැල්පත කඩාවැටුණා. ගඩොලින් බැඳලා ගෙයක් හදාගන්න තරම් අපිට පුළුවන්කමක් නෑ. අපි දෙන්නා මේ ගල්ගෙට ඇවිත් නැවතුණා. අදට අවුරුදු විසි හතක් අපි ජීවත්වෙන්නේ මේ ගල්ගේ. ගම්මානෙට ගිහින් මොනවා හරි ඉල්ලාගෙන ඇවිත් යන්තම් වේල පිරිමහ ගන්නවා. ඒත් සමහර දවස්වලට අපි දෙන්නා බඩගින්නෙම ඉන්නවා යැයි බණ්ඩාරමැණිකේ මාතාව පවසයි.

පුරාවිද්‍යා එකේ මහත්තුරු ඇවිත් අපිට මේ ගල්ගෙයින් යන්න කිව්වා. අපිට යන්න තැනක් නෑ. අපිට ගෙයක් හදලා දෙනවා නම් ඕනෑම වෙලාවක අපි යන්න සූදානම් යැයි ධර්මදාස මහතා පවසයි. ලීවලින් තැනූ මැස්ස පමණයි ඔවුන් සතු එකම ගෘහ භාණ්ඩය. හට්ටි දෙකකුයි, මුට්ටියක්, පොල්කටු හැන්දක් සහ ඔවුනගේ වැරහැලි වූ ඇඳුම් කිහිපයක් මේ ගල්ගේ තුළ දක්නට තිබේ. ඒ ඔවුන් සතු එකම වස්තුවයි. කුඩා ගල්කුටි පහකින් ද (05) මධ්‍යම ප්‍රමාණයේ ගල්ලෙන් දෙකක් ද මෙහිදී දැකගත හැකිය. මේ ගල්ලෙන් දැක්කාම අපිට සිහිපත් වන්නේ දඹුලු ගල්ලෙන්ය. කටාරම් සහිත මේ ගල්ලෙන් තුළ සෙල්ලිපි කිහිපයක්ම තිබේ. සද්ධාතිස්ස රජු සමයේ මේ ගල්ලෙන් තුළ මහරහතන් වහන්සේ වැඩසිටිය බවට සාක්ෂි තිබේ. ගල්ලෙන් ඉදිරිපස නටබුන් වී ඇති චෛත්‍යයක ඉපැරැණි ගඩොල් දැකගත හැකිය. මේ ගල්ලෙන්වලට පිටුපසින් ඉපැරැණි වැව් බැම්මක නටබුන් තිබේ. මේ ස්ථානයට එන ඕනෑම අයෙකුට වැවයි - දාගැබයි සංකල්පය සිහිවනු ඇත. මේ ගල්ලෙන අහුඋවනේ ගල්ලෙන ලෙස හඳුන්වන බව අප හා පැවසුවේ ආර්. බී. ගුණදාස මහතාය. බණ්ඩාරමැණිකේ මෑණියන්ටත්, ධර්මදාස පියාණන්ටත් ජීවිතයේ සැඳෑ සමය ගතකිරීමට නව නිවසක් තනාදීමට ඔබට හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයක් වේවි.
පහතින් එම වීඩියෝව


සම්බන්ධ වීමට සෙනවිරත්න
0774507180


No comments

Powered by Blogger.