"ඉඩායි" පුද්ගලයින් 300 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කර තවත් විශාල පිරිසක් අතුරුදහන් කරයි


මොසැම්බික් රාජ්‍යය හරහා හමා ගිය ඉඩායි සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් ආසන්නයට ළඟා වීම අතිශය දුෂ්කර වී ඇතැයි සහන සේවා කණ්ඩායම් පවසනවා.

ඔවුන් කියා සිටියේ, ව්‍යසනකාරී ජල ගැලීම්වලට ගොදුරු වූවන් දහස් ගණනක් වහල මත මෙන් ම ගස් මත ද කොටු වී සිටින බවයි.

එමෙන්ම එ‍ෙබෙයිරා නගරයේ සහන සේවාවල නිරත කණ්ඩායම් පවසන්නේ, තමන් සතු පිරිසුදු ජලය දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් වනු ඇති අතර, මොසැම්බික් සහ සිම්බාබ්වේ හරහා හමා ගිය සුළි කුණාටුවෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු කර ඇතත්, එම සංඛ්‍යාව ඉහළ යා හැකි බව අපේක්ෂිතයි.

ආහාර සහ පානීය පිරිසුදු ජලය හිඟකම නිසා ලෙඩ රෝග පැතිර යාමේ වර්ධනයක් සිදු විය හැකි බවට වෛද්‍ය ආයතන අනතුරු අඟවා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා බෙයිරා නගරය හරහා ප්‍රබල ඉඩායි සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝමීටර් 177ක වේගයකිනි. බෙයිරා නගරය ව්‍යසනයට ලක් කර එය සිම්බාබ්වේ සහ මලාවි රාජ්‍යයන් කරා හමා ගියේය.

අසල්වැසි රටවලින් ගලා එන ජලය එක්රැස් වීම නිසා මොසැම්බික් රාජ්‍යය ජල ගැලීම්වලට ලක් වන බව සහන කණ්ඩායම් පවසයි. මේ වන විට එරට වැසියන් 200 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී ඇති අතර, සහන කණ්ඩායම් ළඟා නොවූ ප්‍රදේශ ද රැසක් පවතී.

ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ නිලධාරිනියක වන කැරොලින් හගා පැවසුවේ, වැඩි ම බලපෑමක් එල්ල වී ඇත්තේ බූසි නදිය ආසන්නයේ පිහිටි බෙයිරා නගරයට බවය.

ජල ගැලීම්වලින් කොටු වී සිටින පුද්ගලයින් බේරාගෙන ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට ප්‍රමුඛත්වය දී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ ඩෙබෝරා ගුයෙන් පැවසීය.

මේ අතර, මොසැම්බික් ජනාධිපති ෆෙලිපේ යූසි පවසා ඇත්තේ, පුද්ගලයින් 100,000කට අධික පිරිසක් අවදානමට ලක්ව සිටින බවය.

සිම්බාබ්වේ රජය පැවසුවේ, පුද්ගලයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 217 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

මලාවි රාජ්‍යය තුළ පුද්ගලයින් 80,000කට අධික පිරිසක් අවතැන් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.



BBC සිංහල සේවය

No comments

Powered by Blogger.