මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු නවතා දමයි



 මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මාස තුනක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.


 විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා කියා සිටියේ අදාල පාර්ෂවයන් සමඟ ඊයේ සවස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වු සාකච්ජාවේදී මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ලබා දුන් බවයි.

දැනට කැනීම් මඟින් විවෘත කොට තිබෙන සමූහ මිනිවළ තුළින් ගොඩ ගැනීම සිදුනොකොට මිනිවළ තුළින් මතුකරගෙන ඇති අස්ථි කොටස් මාස තුනක කාලයක් විවෘතව තැබීමෙන් අදාළ අස්ථිවලට හානියක් සිදුවෙතැයි යන සැකය මත දැනට මතුව තිබෙන අස්ථි කොටස්ද පස් දමා තාවකාලිකව වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව සමූහ මිනිවළ කැනීම් කටයුතු සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු  කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ‍ ‍ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමේ පුරාවිද්‍ය වාර්තාවද මාස තුනක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබාදුන් බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අදාළ වාර්තාවන් ඉදිරිපත්වීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන අතර,ඉදිරි දිනකදී විනිවිද භාවයෙන් යුතුව සියළු පාර්ශව ඉදිරියේ සමූහ මිනිවළ තුළින් මතුවු අස්ථි කොටස් තාවකාලිකව පස් දමා වසා දැමීම සිදුකිරීමට නියමිත බවද වෛද්‍යවරයා කියා සිටියා.

රාජපක්ෂ මහතා වැඩිදුරටත පැවසූවේ මාර්තු මස 08 වැනිදා සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා සිදුකළ නියෝගයෙන් අනතුරුව නැවත ඒ සම්බන්ධයෙන් වන සාකච්ජාවක් ඊයේ (22) කැඳවා තිබු බවයි.

 සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව  මාර්තු මස 07 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මාර්තු මස 08 වැනිදා කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණ.


මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2017 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම පැවසුවේ.

No comments

Powered by Blogger.