අගමැතිගේ ජංගි කතාවට කටුනායක ආයෝජන කළාපයේ හා තවත් කාන්තා සංවිධාන කිහිපයක විරෝධය



බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට කටුනායක ආයෝජන කළාපයේ එහි සේවිකාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින “ඩා බිඳු සමුහිකය” තරයේ හෙළා දකිනවා.

ඔහුන් කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අගමැතිවරයා මේ පිළිබඳව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවයි.

එමෙන්ම යුද්ධයෙන් පසු යාපනයේ සිට ඇඟලුම් ක්ෂත්‍රයේ රැකියාවලට ගිය තරුණියන්ට යාපනයේ තරුණයන් “සුද්දන්ට ජංගි මහන්න යනවද නංගි ” කියා අපහාස කරන බව තම සංවිධානයට මීට පෙර වාර්තා වූ බව පෙන්වා දෙන ඩා බිඳු සාමුහිකයේ චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියේ, අගමැතිවරයාගේ ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ හෙයින් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු තරුණියකට “නිදහසේ පාරේ බැස යා නොහැකි තත්වයක්” රටේ පාලකයා එක් නිමේෂයකින් උදා කර තිබෙන බවයි.

 බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ පැවති  ආරම්භක උත්සවයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ සඳහන් කළා.


“කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.”



අගමැතිවරයාගේ මේ ප්‍රකාශය තරයේ හෙළා දකින බව කාන්තා අයිතීන් සහ කාන්තාවන් දිරිගැන්වීම වෙනුවෙන් කටයුතු කරන සවිස්ත්‍රී කාන්තා සංවිධානය ද පවසනවා. සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති  කියා සිටියේ, ආයෝජන කළාපවල කාන්තාවන්ගේ ශ්‍රම සූරා කෑමට අමතරව රටේ පාලකයා ඒ කාන්තාවන් හැල්ලුවට ලක් කිරීමට ද පටන් ගෙන ඇති බවයි.

මෙවැනි අදහස් පළකිරීම් හේතුවෙන් ආයෝජන කළාපවල සේවය කරන තරුණියන්ට ගමට යාමේ දී පවා ගැටළු මතුවන බව පවසන ඇය වැඩිදුරටත් කියා සිටියේ, මේ පිළිබඳරටේ කාන්තා සංවිධාන එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය ඇඟලුම් සේවිකාවන් කබලෙන් ලිපට දැමීමක් බව, වසර නවයක කාලයක් කටුනායක ආයෝජන කළාපයේ සේවය කරන රෝෂිණි ප්‍රනාන්දු කියා සිටියා. මේ වන විට සේවක අයිතිවාසිකම් රැසක් කප්පාදු කර ඇති තත්වයක ආයෝජන කළාපවල සේවය කරන තරුණියන් මෙවැනි ප්‍රකාශ හේතුවෙන් මුළුමනින් කලකිරෙන බව ද බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණ වෙළඳ කළාපයේ සේවය කරන ඇය පැවසුවාය.







No comments

Powered by Blogger.