මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවූ අස්ථි කොටස් කෝට්ටේ යුගයට අයත් බවට හෙළිවෙයි



මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවූ අස්ථි කොටස් සාම්පල 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසනවා. එහෙත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ.

කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද(07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මඟින් ප්‍රසිදියට පත් කළා.

‍මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවල සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය වාර්තාව නිළ වශයෙන් අධිකරණයට ලැබුණු බවයි.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව නිළ වශයෙන් ලැබී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළා.

අදාළ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට ලැබුණද අදාළ දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මත දත්ත ලැබී ඇති අතර, අදාළ දත්තවල නිළ පැහැදිලි කිරීමක් අධිකරණය අදාළ ආයතනයෙන් ඉල්ලීම් කොට තිබෙනවා.

වාර්තාවේ පවතින කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අදාළ දත්ත ලැබීමෙන් අනතුරුව සිදුකරන ලෙසට අධිකරණය මඟින් උපදෙස් ලැබී ඇති බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

සමූහ මිනිවළ තුළින් 155 වන දිනට අද(07) පරීක්ෂණ පවත්වන අතර, මිනිවළ තුළින්  මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 29දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවට වාර්ථා වුණා.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල එලෙස ලැබු බවද රාජපක්ෂ මහතා සඳහන් කළා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවයි.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැණින.

රාජපක්ෂ මහතා පැවසූවේ සියළු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගත් බවද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබූවා.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද අණාවරණය වුණා.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් වෙනස් ආකාරයට ඇතැම් අස්ථි හමුවි තිබෙනවා.

No comments

Powered by Blogger.