මෙවර ලෝක කාන්තා දිනයදා මින් පෙර නොවූ විරූ සිදුවීම් රැසක්


මෙවර කාන්තා දිනයේදී ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරා කාන්තාවන් විශේෂ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත්වුණා.  එක් දිනක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කර මෙතරම් වෙනස්කම් රැසක් සිදුවන්නේ නම් කාන්තාවන් වෙනුවෙන් වසරක් නම් කලහොත් ඔවුන් ලෝකය පාලනය කරනු ඇතැයි බොහෝ දෙනෙකු සමාජජාල තුල ප්‍රකාශ කර ඇත. මෙවර කාන්තා දිනයේදී ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරා කාන්තාවන් ලැබූ විශේෂ ජයග්‍රහණ කිහිපයක් අප ඔබට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

අභ්‍යාවකාශය ජය ගැනීම
ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ බැටරි නඩත්තු කටයුත්තක් ”spacewalk” සඳහා කාන්තා කාර්ය මණ්ඩලයක් කටයුතු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව නාසා ආයතනය මඟින් කාන්තා ගගනගාමීන් දෙදෙනෙකු වන ඈන් මැක්ලෙයින් (Anne McClain) සහ ක්‍රිස්ටිනා කෝච් (Christina Koch) මාර්තු 29 වනදා ඒ වෙනුවෙන් අනුයුක්ත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන්ට පෘථිවියේ (පාලන මධ්‍යස්ථානයේ) සිට සහය දැක්වීම සඳහා කැනේඩියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නියාමකවරියක වන ක්‍රිස්ටිනා ෆැසියෝල් (Kristen Facciol) මෙහි අධ්‍යක්ෂකවරිය ලෙස හූස්ටන් (Houston) මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.ඒ අනුව මෙම ගුවන්ගත කිරීමේ ක්‍රියාවලියට අධ්‍යක්ෂකවරියක් සිටීම සුවිශේෂී සිදුවීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.මීට පෙර මෙවැනි ගුවන් ගතවීම් සඳහා අධ්‍යක්ෂකවරියන් කටයුතු කර ඇති නමුත් මෙවර ලෝක කාන්තා දිනය වෙනුවෙන් කණ්ඩායමම කාන්තා පාර්ශවය නියෝජනය කිරීම සුවිශේෂී කරුණක්. නාසා ආයතනයේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම අභ්‍යවකාශ ගමන් කාලය පැය 07ක් පමණ වනු ඇති බවයි

ගුවන ජය ගැනීම
කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පවසනවා.

එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ අද (08) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වීම විශේෂත්වයක්. මේ සදහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවන් වුණා.

එහි සිටි සමස්ථ කාර්යය මණ්ඩලය 08ක්.

මොවුන් අද දින අලුයම 1.00ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර , මෙම ගුවන් යානය තුළ පිරිමි මගීන් කීප දෙනෙකු පමණක් සිටියා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සදහා A – 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.

මෙම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරනු ලබන බවයි වාර්තා වන්නේ.

දුම්රිය වල කාන්තාවන් සදහා වූ මැදිරි වෙන් කිරීම
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් අද සිට ශ්‍රී ලංකාවේ තෝරාගත් දුම් රිය ගමන්වාර කිහිපයක් සදහා කාන්තාවන්ට වෙන්වූ මැදිරි භාවිතයේ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව අලුයම 06.30ට මීරිගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුක්වා ධාවනය වන අංක 525 දරණ දුම්රියේ, රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලුයම 05.57 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.25 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, මහව දුම්රිය ස්ථානයෙන් අලුයම 04.45ට ගමන් අරඹන දුම්රියේත්, පුත්තලම දුම්රිය ස්ථානයෙන් අලුයම 04.30 මරදාන බලා ගමන් අරඹන බංගදෙනිය දුම්රියේත්, ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 සිට මරදාන දක්වා ගමන් අරඹන සමුද්‍රදේවී දුම්රියේත්, මාතර දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00ට මරදාන බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය වලට කාන්තා දුම්රිය මැදිරිය බැගින් යොදවීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රථම අදියර යටතේ කාර්යාල දුම්රිය වලට කාන්තා මැදිරි යොදවන අතර ඉදිරියේදි අනික් දුම්රිය වලට ද කාන්තා මැදිරි යෙදවීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කර සිටිනවා.

සිරස ප්‍රවෘත්ති මැදිරියේ සිදුවූ වෙනස.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීම සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති මැදිරියේ සුවිශේෂි වෙනසක් දක්නට ලැබුනා. අද සවස 7 ප්‍රධාන පුවත් විකාශයේ සම්පූර්ණ ප්‍රවෘත්ති නිවේදන කටයුතු සිදුකලේ කාන්තා නිවේදිකාවන් විසින්.  කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන මාධ්‍ය ආයතනයක් ලෙස සිරස මාධ්‍යජාලය ප්‍රසිද්ධියක් උසුලන අතර ඉතිහාසයේ පළමු වරට රූපවාහිනි නාලිකාවක් මෙලෙස සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් සදහා සම්පූර්ණයෙන්ම කාන්තා නිවේදිකාවන්ගේ දායකත්වයෙන් විකාශය කිරීම විශේෂ සිදුවීමක් වනවා.










No comments

Powered by Blogger.