ජනමාධ්‍ය ඇමති නොතකා ජනාධිපති රූපවාහිනිය අතට ගනී


ඇමති මංගල සමරවීර මහතාගෙන් පසුව ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත් වූ රුවන් විජයවර්ධන මහතා හට ඇමතිවරයෙකු ලෙස සියලු බලතල පවරන බව පැවසුවද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙනස් කිරීමේ අවස්ථාව ඔහුට ලබා නොදී තමන්ට හිතවත් වර්තමාන සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී එම තනතුරේ තබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරගෙන යයි. මෙම සභාපතිනිය පත්කළේ ඇමති මංගල විසින් වුවද මේ වනවිට ඇය කටයුතු කරන්නේ ජනාධිපති කාර්යාලයට අවශ්‍ය ආකාරයටය. එයට එක් හේතුවක් වන්නේ ඇය සහ ශිරාල් ලක්තිලක හොඳ මිත්‍රයන් වීමය. ඒ මිත්‍රසමාගම ඉදිරියට දැමුවද ඉනෝකා මේ වනවිට ජනාධිපති දුව වන චතුරිකාගේද සමීප හිතවතියක වී සිටියි.

යහපාලන රජයේ සම්මුතීන්වලට අනුව ජාතික රූපවාහිනියේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂය විසින්ද අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ජනාධිපතිවරයා විසින්ද පත්කරන පත්කිරීම් ලෙස බෙදාගෙන තිබේ. එසේම නව අමාත්‍යවරයෙකු පත් වූ පසුව ඔහු යටතේ ඇති සියලු ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් වී නැවත පත් කිරීමේ සම්ප්‍රදායක් තිබේ. එහෙත් මේ සියල්ල පැත්තකට දමා ඇමති රුවන් විජේවර්ධන විසින් ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස නම් කළ දෙදෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මෙහිදී අගමැතිවරයාගේ කැමැත්තද ඇතිව නම් කළ හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වන සුදර්ශන ගුණවරධන මහතාගේ නම NGO කාරයෙක් යැයි කියා ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ සුදර්ශන ගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපති තනතුරට සුදුසු බව ජනාධිපතිවරයා විසින්ම පත් කර ඇති ඉහළ තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ කමිටුව අනුමැතිය ලබා දුන්නද ජනාධිපතිවරයාට අනුව සුර්ශන ගුණවර්ධන NGO කාරයෙක් වීම නිසාම ඔහුට එම තනතුර අහිමි වී තිබේ.

එයින් පසුව ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතාගේ නම ඉහළ තනතුරු සඳහා සුදුස්සන් තේරීමේ කමිටුවට යොමු කර ඇති අතර ඒ සඳහාද අවසරය ලැබී තිබේ. එහෙත් ජනාධිපතිවරයා විසින් එම පත්කිරීමද වළක්වමින් වර්තමාන සභාපතිනිය එම තනතුරේ තබා ගන්නා ලෙස ජනාමාධ්‍ය අමාත්‍යවරයාට දන්වා තිබේ. මේ අතර ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ක්‍රිෂාන්ත කුරේ මහතාට අත නොතබන ලෙසද ජනාධිපතිවරයා වහෙන් ඔරෝ දන්වා ඇතැයි දැන ගන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ ක්‍රිෂාන්ත කුරේ මේ වනවිට ජනාධිපතිවරයාගේ හොඳම හුරතලෙකු වී සිටින නිසා ඔහු ඉවත් කිරීමේ හැකියාවද ඇමතිවරයාගෙන් ගිලිහී තිබේ. ඇමතිවරයා ලේක් හවුස් ආයතනයේ කළ සංචාරයේ දී ද එය වදයක් සේ හැසිරී ඇති ක්‍රිශාන්ත කුරේ අමාත්‍යවරයා වැඩ බාරගන්නා අවස්ථාවේද එම අවස්ථාව මග හැර ගොස් තිබේ. තමන් රුවන් විජයවර්ධනට ඉහළින් සිටින බව හිතාගෙන සිටින ක්‍රිෂාන්ත කුරේට ජනාධිපතිගේ සාහයද ලැබීම නිසා දැන් ඊටත් උඩින් සිටින්නට පටන් ගෙන තිබේ.

මේ අනුව රජයේ ප්‍රධානම මාධ්‍ය ආයතන දෙක තමන්ගේ යටතේ තබාගෙන වෙනම ගේමක් ගැසීමට ජනාධිපතිවරයා සැරසෙන බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා ඊළගට එළැඹෙන ඡන්දයේ දී රාජ්‍ය මාධ්‍ය තමන් සතු කරගෙන ඡන්දයට යෑමට පෙරම් පුරමින් සිටින බව පැහැදිලි වෙයි. එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් ඔහු කළ යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශය තමන් යටතේ තබා ගැනීම වුවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි පෙන්වමින් ජනතාව ඉදිරියට යෑමට අවශ්‍ය වීම නිසා ජනාමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරියෙන් තබා ගෙන ඩබල් ගේම ගැසීමට ජනාධිපතිවරයා කටයුතු කරයි.

මේ වනවිට ජාතික රූපවාහිනිය දැඩි අර්බුදයකට පත්ව ඇති අතර එහි සභාපතිනියට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට විරුද්ධව සංස්ථාවේ සේවකයන් කිහිප විටක්ම උද්ඝෝෂණය කළහ. රූපවාහිනී සේවකයන් ජනාධිපතිවරයා හමුවී පමවතින තත්ත්වය ගැනද කරුණු පැවසූහ. එහෙත් රූපවාහිනිය තිබූ තැනින් පහළට දැමූ සභාපතිනිය හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් කර ජාතික රූපවාහිනියට පණදෙන ලෙස සේවකයන් කරන ඉල්ලීම ජනාධිපතිවරයා තුට්ටුවකට තකන්නේ නැත. ඔහු ගේ අදහස වෙන්නේ වර්තමාන සේවකයන්ගේ උද්ඝෝෂණ පොහොට්ටු කාරයන්ගේ උද්ඝෝෂණ බවයි. පොහොට්ටුකාරයන්ට ඕනෑ විදියට සභාපතිවරු මාරු වෙන්නේ නැති බවද ඔහු කියා තිබේ. එහෙත් පොහොට්ටුකාරයන් අගමැතිකරවූයේද පොහොට්ටුකාරයන් සමග එක්ව ආණ්ඩු පෙරළන්න හදන්නේත් ජනාධපතිවරයාමය.

No comments

Powered by Blogger.