කොළඹ ප්‍රධාන වැඩබිමේ වල සැළසුම් පිටපත් ළඟ තබාගෙන සිටි යුද්ධ හමුදා නිලධාරියකු රිමාන්ඩ්


කොළඹ ප්‍රධාන ඉදිකිරීම් වල ඉදිකිරීම් සැළසුම් පිටපත් ලඟ තබාගෙන සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා නිලධාරියකු ලබන මස 06 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියම කළේය.

සැකකරුගේ ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත‍්‍රයේ ඇති තොරතුරු එකිනෙකට පරස්පර බව කියමින් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ වත්තල හුණුපිටියේ පදිංචි ඩූල් මොහොමඩ් ඉම්රාන් නමැත්තෙකි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරික්‍ෂාවකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු සන්තකයේ කලම්බු රෙසිඩන්ට් හෝටලයේ ඉදිකිරීම් සැළැස්ම මෙන්ම කොළඹ ප්‍රධාන වැඩබිමේ වල  සැළසුම් පිටපත්ද එමෙන්ම ව්‍යාජ ලේඛන ගණනවාක්ද තිබු බව දැනුම් දුන්නේය.

සැකකරු හිටපු යුධ හමුදා නිලධාරියකු බවත් එමෙන්ම සැකකරු සන්තකයේ තිබූ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රයේ ඇති දත්ත එකිනෙකට වෙනස් බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය සිද්ධියට අදාළව පරීක්‍ෂණ සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් වැඩ බිමක සේවයකයකු වන නම් සේවා දායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරුට ඇප දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මස 06 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප‍්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේය

No comments

Powered by Blogger.