දිමුත්ට ඇප රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

දිමුත්ට ඇප රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි



 ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

එමෙන්ම ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස කියා සිටි මහේස්ත්‍රාත්වරයා නියම කළේ සැකකරු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි.

මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී  බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ බොරැල්ල පොලිස් වසම තුළ සිදු වූ  රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් පසුව ඔහු සම්බන්ධයෙන් සිදුකළ ස්වසන පරීක්ෂණයේ දී ඔහු බීමත්ව සිටි බවට තොරතුරු අනාවරණය වූ බවටයි.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පැමිණිලිකරු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවද බොරැල්ල පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉදිරියේ දී කරුණු වාර්තා කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

අනතුරට පත් පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථයට පත්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කර ඇති අතර, මෙම වරද සම්බන්ධයෙන් ඔහු පශ්චාත්තාප වන බවත් පැමිණිලිකරුගේ ත්‍රිරෝද රථයට යම් අලාභයක් සිදුවී තිබේ නම් ඒ වෙනුවට අලුතින් ත්‍රිරෝද රථයක් ලබාදීමට සැකකරු එකඟ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට එහිදී දන්වා සිටියා.

අනතුරුව පැමිණිල්ල මැයි මස 02 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතු වල ඉදිරියේ ප්‍රගතිය වාර්තා කරනලෙසත් බොරැල්ල පොලීසියට නියමකළා.













No comments

Powered by Blogger.