අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට


අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුවට එරෙහිව කරුණු 12 කින් සමන්විතව ජනතා විමුක්ති පෙරමුණ  ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත්, තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබීම මෙන්ම ඒ හේතුවෙන් වූ දේපළ හානිය සම්බන්ධයෙන් ආණ්ඩුවට නිල වශයෙන් තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසැළකිල්ලෙන් කටයුතු කිරීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නොපවතින බවයි.

අද පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට රැස්වන අතර, වාචික ප්‍රශ්න ඇසීමේ වාරයෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වුණේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී කිසිදු තීරණයකට නොපැමිණි අතර, යළි අද රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම පෙරේදා පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඉන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බවයි.මේ අතර නව සමෘද්ධිලාභීන්ට හිමිකම් ලබාදීම සඳහා පැවති උත්සවවලදී දරණ ලද වියදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇතිවුණා.

No comments

Powered by Blogger.