දිවයින පුරා පවතින අධික වර්ශව හේතුවෙන් ප්‍රදේශ රැසකට තවදුරටත් පීඩා - දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ටත් විශේෂ නිවේදනයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

දිවයින පුරා පවතින අධික වර්ශව හේතුවෙන් ප්‍රදේශ රැසකට තවදුරටත් පීඩා - දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ටත් විශේෂ නිවේදනයක්


දිවයින පුරා පවතින අධික වර්ශව හේතුවෙන් ප්‍රදේශ රැසක මේ වන විට ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ වැලිපැන්න පිටවුම ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොක්මාදූව පිටවුම ජලයෙන් යටවීම නිසා වැලිගම සහ අකුරැස්ස දෙසට රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.

එමෙන්ම, වැලිපැන්න - පිටවුම ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මතුගම දෙසට ගමන් කිරීමට බාධාවක් නොවන අතර, අලුත්ගම දෙසට ගමන් ගන්නා වාහනවලට වැලිපැන්න පිවිසුම භාවිත නොකර දොඩම්ගොඩ පිවිසුම ඔස්සේ ගමන් ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

මීට අමතරව මාතර සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මතුගම දෙසට ධාවනය කිරීමේදී වැලිපැන්න පිටවුම භාවිත නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිටවුම ඔස්සේ මතුගමට පිවිසිය හැකියි.

වර්ෂාවත් සමඟ මාර්ගය ලිස්සන සුළු බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම, සෙසු මාර්ගවල ද රථ වාහන ගමන් කිරීමේදී වේග සීමාව පිළිබදව සැලකිලිමත් වන ලෙසට පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා. ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතිනවා.

මේ අතර, උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බැවින් වර්ෂාව හේතුවෙන් සිසුන්ට බාධා එල්ල වී ඇත්නම් ඒ පිළිබදව වෙනත් දිනයක් ඉල්ලුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම් දෙන්නේ.

එමෙන්ම ජල ගැලීම් සහ ගං වතුර නැරඹීමට යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කළු, ගිං සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවටයි වාර්ථා වෙන්නේ.

මේ හේතුවෙන් ජනතාව ඒවා නැරඹීමට යාමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

තවද පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ද ජලයෙන් යටව පවතිනවා.

දිවයිනට බස්නාහිර, දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වීම හේතුවෙන් දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් අවස්ථාවල මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි.

අධික වැසිත් සමඟ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද සහ හෙට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

පැවති වැසිත් සමඟ නිල්වලා, ගිං සහ කළු යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද, කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා මාතර, කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, පිටබැද්දර සහ වැලිගම යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 9කට පූර්ණ සිදුව ඇති අතර, නිවාස 66කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 89ක්. ග්‍රාම නිලධාරී වසම් 96ක පවුල් 1308කට අයත් පුද්ගලයන් 3500කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ.

මීට අමතරව ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ යාම නිසා බද්දේගම, බෝපේ - පෝද්දල, නාගොඩ, තවලම, නෙළුව, අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය යන ප්‍රදේශවල ජනතාව ද අවදානයෙන් සිටිය යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

මේ අතර, කෑගල්ල, ගාල්ල, කළුතර යන දිස්ත්‍රික්ක 3ට අමතරව රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලට ද නාය යාමේ නිවේදන නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තා.

ඇදහැලුණු අධික වැසි හේතුවෙන් ගාල්ල - වදුරඹ - කොකාවල කන්ද නාය යාමෙන් නිවසක සිටි 36 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, ඉමදූව - බටපියස්ස ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් ද එහි සිටි 8 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

එමෙන්ම, තවත් තුවාලකරුවන් 4 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ - 7 කෞතුකාගාරය ආසන්නයේ මාර්ගයකට ගසක් කඩා වැටී තිබෙනවා.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයටයි. එය මිලිමීටර් 219ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ, හියාරේ, හික්කඩුව, යක්කලමුල්ල යන ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

No comments

Powered by Blogger.