මෛත්‍රී ස්වාධීන වෙයි දුමින්ද දිසානායක අද පොහොට්ටුවේ වේදිකාවට චන්ද්‍රිකා රට පනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (7 වැනිදා) සහ ඊයේ (8 වැනිදා) පැවැත් වූ සාකච්ඡා වට කීපයකින් පසු තීන්දු කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (7 වැනිදා) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත් වූ අතර ඊයේ (8 වැනිදා) ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී මෙම රැලිය පැවැත්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම රැලියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමට තවත් දින කිහිපයක් කල්ගතවනු ඇත. සන්ධාන ගිවිසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (8 වැනිදා) ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සන්ධාන ගිවිසුමේ පවතින ගැටලු පිළිබඳ මෙහිදී එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇත.
පක්ෂ දෙක සන්ධානගත වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායක ගණනාවක් ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වෙනවා.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද මෙම තීන්දුවට විරෝධය පළ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධානී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ වන විට එංගලන්තය බලා ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
Leave a Comment