දුමින්ද, වීරකුමාර හා රතන හිමි එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මංගල ජන රැළිය - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

දුමින්ද, වීරකුමාර හා රතන හිමි එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මංගල ජන රැළිය


විවිධ හේතුන් මත සිරගත කර ඇති රණවිරුවන් තම රජයක් යටතේ  නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සාර්ථක දැක්මක් - වැඩකරන රටක් යන තේමාව යටතේ අනුරාධපුරය - සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති පොදුජන පෙරමුණේ මංගල ජනාධිපතිවරණ ජන රැළියට එක්වෙමින්.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම ජන රැළිය සඳහා එක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පසුගියදා සහය පළ කිරීම සඳහා එක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්.බී. ඒකනායක සමඟයි.

මෙම ජන හමුවට නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා, හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජන රැළිය සඳහා එක්වුණේ පස්වරු 5.20 ට පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද රැළිය ඇමතුවා.

එසේම ජන රැළියට එක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එය ඇමතූ අතර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ජන රැළිය අමතනු ලැබුවා.

රැළිය ඇමතූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසුව,
ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය කපා හැරීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව ජනරැළිය ඇමතූ අතර, ඔහු කියා සිටියේ වර්තමානය වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර අවසන් බවයි.

No comments

Powered by Blogger.