තැපැල් ඡන්ද සළකුණු කිරීම සියයට 80ක් - ප්‍රකාශික තැපැල් ඡන්ද පත්‍රිකාවක් සමාජ මාධ්‍යට පැමිණිම ගැන කොමිසමෙන් පරීක්ෂණයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

තැපැල් ඡන්ද සළකුණු කිරීම සියයට 80ක් - ප්‍රකාශික තැපැල් ඡන්ද පත්‍රිකාවක් සමාජ මාධ්‍යට පැමිණිම ගැන කොමිසමෙන් පරීක්ෂණයක්


නොවැම්බර් 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම මේ වන විට සාමකාමීව සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ ආරම්භ වූ තැපැල් ඡුන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 4.15න් අවසන් වීමට නියමිතයි.

 මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක රාජ්‍ය නිලධාරීන් පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා.

ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව සිටි ඡුන්ද දායකයන්ගෙන් සියයට 80ක් පමණ තැපැල් ඡන්දය සලකුණු කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රකාශ කළා.

එමෙන්ම ඊයේ දිනයේ ප්‍රකාශික තැපැල් ඡන්ද පත්‍රිකාවක් සමාජ මාධ්‍යයක් ඔස්සේ ප්‍රසිද්ධ කළ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම පත්‍රිකාව හුවමාරු වූ ගිණුම් ඔස්සේ මෙම විමර්ශනය සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, තැපැල් ඡන්දයට සමගාමීව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අදත් ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ජංගම මුර සංචාර හා යතුරුපැදි සංචාර මගින් අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට සහ එම ඡන්ද පත්‍රිකා අඩංගු ඇසුරුම් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලට ආරක්ෂාව සලසා ඇති බවයි.

ඊයේ සහ අද ප්‍රකාශ කෙරුණු තැපැල් ඡුන්ද පත්‍රිකා අඩංගු ඇසුරුම් ලබන සඳුදා දිනය වන විට අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත භාරදී අවසන් කළ හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළා.

නොවැළැක්විය හැකි හේතුන් මත තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට ලබන 7 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට වෙන් කර තිබෙනවා.

එමෙන්ම ලබන 4 සහ 5 යන දෙදින පොලීසිය, දිස්ත්‍රික් සහ මැතිවරණ ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් හට සිය සේවා ස්ථානවලදී තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. 
මේ අතර, ජනාධිපතිවරණයට අදාළව නිළ ඡුන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා දිනයේත් සිදුකරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.


තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ ඉරිදා දිනය නිවාඩු දිනයක් වුවද විශේෂ බෙදා හැරීම් දිනයක් ලෙස සලකා මෙම නිළ ඡුන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම් සිදුකරන බවයි.

No comments

Powered by Blogger.