එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වංචා දූෂණ සෙවීමට විධිමත් පර්ක්ෂණයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වංචා දූෂණ සෙවීමට විධිමත් පර්ක්ෂණයක්



 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න පිළිබඳ විධිමත් පර්ක්ෂණයක් කැඳ වූ බවත්, ඒ අනුව එවැනි අවභාවිතයක් සිදුව ඇත්නම් ඒ හා සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මික කරන බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසනවා.

එන්ටර්පයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුදල් අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වනවිට වාර්තා වන බවද ඒ මහතා සඳහන් කර සිටියා.

එහිදී එම වැඩසටහන හරහා ණය ලබාදීමේදී දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත ණය ලබාදී ඇතැයි පැහැදිලිව දක්නට ලැබෙන බවද පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා, කැඳවා ඇති පරික්‍ෂණයේ වාර්තාව ලද වහාම ඒ පිළිබඳ වූ සත්‍ය තත්ත්වය ජනතාවට හෙළි කරන බවත් පවසා සිටියේය.


මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මුල සිටම චෝදනා එල්ල වුණා, විශේෂයෙන් ව්‍යාවසායකයන් නගාසිටුවීමට යැයි කියමින් දේශපාලන හිතවත්කම් හා පෞද්ගලික සබඳතා මතය. ලබාදීම් සිදුකර ඇති බවට මේ වනවිට වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන් කිව යුතුයි ගම්වල කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ බොහෝ ව්‍යවසායකයන් මෙම වැඩසටහන හරහා ණය ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණත් ඒවා ඉවත දමා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අවශ්‍ය අයට මේ ණය ලැබිලා නෑ.

මම සාකච්ඡා කළා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාත්  සමග. ඒ අනුව එන්ටප්‍රයිස්  ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ විධිමත් වාර්තාවක් මේ වනවිට කැදවා තිබෙනවා.

ණය ඉල්ලුම් කළ අය, ණය ලබා දුන් අය, ඒ අය කාගේ කවුද, ලබාදුන් ණය ප්‍රමාණය කොතෙක්ද යන සියලු කරුණු පිළිබඳ එමගින් පරික්ෂණ කරනවා. එවිට අපට තීරණය කළ හැකියි සිදුව ඇති අක්‍රමිකතා මොනවාද යන්න පිළිබඳ විශේෂයෙන් කිව යුතුයි.

මේ වැය කර තිබෙන්නේ ජනතා මුදල්. ඒවා අවභාවිත කළ නොහැකියි. අපි ඊට ඉඩ තබන්නේ නෑ, ජනතා විශ්වාස අපි ඒ ලෙසම ආරක්ෂා කරනවා. ඒ අනුව වාර්තාවේ අවසන් නිගමන ලද පසු වැඩසටහන හරහා මුල්‍යමය අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ හා සමිබන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නිතිය ක්‍රියාත්මක කිරීමේදී අපි ඒ අය වී.අයි.පි. ද, නිලධාරීන්ද යන්න පිළිබඳ තැකීමක් කරන්නේ නෑ. නීතිය සැමට එකයි" යනුවෙන්ද පැවසීය.

No comments

Powered by Blogger.