දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිතයන් 10 දක්වා ඉහළට - රජය විශේෂ නිවේදන රැසක් නිකුත් කරයි


දිවයිනේ නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් - 19 ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ සන්ධ්‍යාවේ ප්‍රකාශ කළා.

ඒ, පසුගිය හත්වනදා ඉතාලියේ සිට දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් සහ මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙකු වන 17 හැවිරිදි දැරියක්.

ඔවුන් කොරෝනා වෛරසය ආසාදනය වූ 9 වන සහ 10 වන ශ්‍රී ලාංකිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් හෙට  රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට දිනය රාජ්‍ය අංශයට අමතරව බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණ ගෙන ඇති බව සඳහන්.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින 14 ක කාලයක් තහනම් කෙරෙන බව පොලීසිය නිවේදනය කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දී ඇති බවයි.

එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට පටහැනිව ක්‍රියාකරන සියලුදෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කළා.

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥාපනතේ විිධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන ඉදිරි සති දෙක තුළ වසාදැමීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එසේම ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය ඇතුලු කොරෝනා වෛරසය පැතිර යන රටවල් 11ක ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් සේවා හෙට සිට නැවත දැනුම්දෙන තුරු සීමා කිරීමටයි විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, දේවස්ථානවල පැවැත්වෙන ඉරුදින සහ අනෙකුත් දිව්‍යපූජා මේ මස අවසානය දක්වා නතර කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කළා.

කොළඹ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ නිවෙස්වල සිට රට සහ ජනතාව වෙනුවෙන් යාඥා මෙහෙයවල නිරතවන ලෙසයි.

එසේම කැළණිය විශ්වවිද්‍යාලයේ සියලුම බාහිර උපාධි පරීක්ෂණ ද නැවත දැනුම්දෙනතුරු අවලංගු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද සිට පැවැත්වීමට තිබූ සියලුම බාහිර උපාධි පරීක්ෂණ නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වෙනු ඇති.

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන පොලිස් නිශ්කාෂණ වාර්තා ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ඇති ජාතික කාර්යසාධක බලකායේ කටයුතු සම්බන්ධීකරණය සඳහා රාජගිරියේ වෙනමම කාර්යාලයක් අද ආරම්භ කෙරෙන බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයිනේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින සංඛ්‍යාව 1660ක්.

එමෙන්ම දිවයිනේ කොරෝනා වෛරස් අසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල් පද්ධතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් හයලක්ෂයක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

රුපියල් මිලියන 109 කට ආසන්න එම මුදල අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ දිවයිනේ තවත් රෝහල් 17ක් සඳහා රෝග පරීක්ෂණ උපකරණ සහ වෛද්‍ය සැපයුම් සඳහා වැය කිරීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුව කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය රුපියල් මිලියන 2ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ දැනටමත් ලබාදී අවසන්.                       


No comments

Powered by Blogger.