ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට


 ගත වූ කාලයතුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 28 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය  සඳහන් කරනවා.

දඹුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, තංගල්ල, කටුනායක, වලස්මුල්ල, නල්ලතන්නිය සහ අම්පාර යන ප්‍රදේශවල දී ඊයේ රාත්‍රී සහ අද(21)  උදෑසන කාලයේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

දඹුල්ල, බුලාගල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරුපැදි තුනකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරවෙල, පොරවගලමහඋල්පත ප්‍රදේශයේ දී මත්පැන් පානය කරමින් ක්‍රීඩා පිටියක රැදී සිටි පුද්ගලයින් අටදෙනෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලස්මුල්ල නගරයේ දීඇදිරි නීතිය කඩකරමින් ටිපර් රථ දෙකකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇති අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ආපන ශාලාවක් විවෘතව තබා ගැනීම සම්බන්ධයෙන්  හපුතලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.

කටුනායක නගරය ආශ්‍රිත මාර්ගයේ නිකරුනේ ගැවසෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

තංගල්ල, විතාරන්දෙනිය මාර්ගයේ බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ අම්පාර මුවන්ගල ප්‍රදේශයේ දී මාර්ගයේ නිකරුණේ ගැවසෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 56ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් දඹුල්ල, බණ්ඩාරවෙල, තංගල්ල, හැටන් සහ මිනුවන්ගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ එය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

No comments

Powered by Blogger.