බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ ඇතැම් නඩු කටයුතු ස්කයිප් තාක්ෂණය ඔස්සේ


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය බන්ධනාගාරය තුළ වැලැක්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්  කඩිනම් පියවර රැසක් ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා සඳහන් කළා.

 ඒ අනුව නඩු කටයුතු සඳහා රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාම නතර කර ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදුකිරීමට, රැඳවියන් බැලීමට බාහිර පුද්ගලයන් පැමිණීම නතර කිරීම ඇතුළු පියවර රැසකට එළඹි බවයි ඔහු කියා සිටියේ.

මෙරට බන්ධනාගාර 30ක් තුළ මේ වන විට රැදවියන් 26,000ක් සිටින අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත අභ්‍යන්තර රැදවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ලිහිල් ඇප ලබාදිය හැකි රැදවියන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව මේ වන විට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් සිටින බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඒ අනුව රැදවියන් 5000ත්, 6000ත් අතර සංඛ්‍යාවකට ලිහිල් ඇප සහ සහන ඇප ලබාදීමට හැකි වනු ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බන්ධනාගාරගතව සිටින රැදවියන්ට ආරක්ෂාව සැපයීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි එම කොමිසමේ මාධ්‍ය සම්බන්ධීකාරක සජීදා පසාල් සඳහන් කළේ.

කෙසේ වෙතත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් සඳහන් කළේ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත් බවයි.

No comments

Powered by Blogger.