2020-04-30 දින කල් ඉකුත් වන ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 වනදා තෙක් දීර්ඝ කරයි


2020-04-30 දින කල් ඉකුත් වන ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය එළැඹෙන මැයි 31 වනදා තෙක් දීර්ඝ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෙසේවෙතත් සාමාන්‍ය රාජකාරි සඳහා ඇඳිරි නීති බලපත්‍ර අලුතින් ලබාගැනීම අනිවාර්ය වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5 ට තාවකාලිකව ඉවත් කෙරුණි.

කෙසේවෙතත් ඊයේ (28) මෙන්ම අද දිනයේත් නගර වෙත ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණි.

ඇඳිරි නීතිය ලිහිල් කළද මාර්ගයේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරුණක්.

එවැනි පසුබිමක මුඛ ආවරණයක් නොමැතිව පාපැදියකින් ගමන්ගත් දරුවෙකුට පොලිස් නිලධාරියෙකු විසින් මුඛ ආවරණයක් මිලදී ගැනීම සඳහා තමන් සතු මුදල් ලබාදීමට තරම් කාරුණික වූ අයුරුයි දැක ගත හැකි විය.

වෙනත් දිස්ත්‍රික්කවල සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ප්‍රවේශවන අත්‍යවශ්‍ය සේවා රථ පරික්ෂා කිරීම කන්තලේ අග්බෝපුර ආරක්ෂක මුරපොළේදී සිදුවන අතර එහිදී එම රථවල පැමිණෙන පුද්ගලයින් විෂබීජහරණයටද ලක් කර ඇත.

කෙසේවෙතත් එලෙස පැමිණි ඇතැම් රථවල රියදුරන්ට ඔවුන් පදිංචි බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය වාර්තාව නොමැති වීම හේතුවෙන් යළි හරවා යැවීම සිදු විය.

ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කවල පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන අංකය ලෙස 07 සහ 08 සඳහන්ව ඇත්නම් ඔවුන්ට හෙට දිනයේ අත්‍යවශ්‍ය සේවා සපයාගැනීම සඳහා නිවසින් බැහැරට යාමට ඉඩ සැලසෙයි.

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04හි ඇඳිරි නීතිය මැයි 04 වනදා අලුයම 5.00 දක්වා අඛණ්ඩව බලපැවැත්වේ.

වඩාත්ම අවදානම් දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශරීර උෂ්ණත්වයන් පරික්ෂා කිරීම‍ යුද හමුදා ක්ෂණික විහිදුම් බළකායේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන අයුරුයි  දැක ගත හැකි විය.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 41,557ක් වන අතර සමස්ත වාහන ගණන 10,719ක්.




No comments

Powered by Blogger.