දිවයිනෙ දැනට සොයාගෙන ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් 53 දෙනෙකු වයස අවුරුදු 18ට අඩු ළමයින් බව හෙළිවෙයි



දිවයිනේ දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් 53 දෙනෙකු වයස අවුරුදු 18ට අඩු ළමයින් බව අනාවරණ වී ඇති බවයි ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියා.

එමෙන්නම කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 44 දෙනෙකු අද දිනයේදී හඳුනා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 567 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද හඳුනා ගත් ආසාදිතයින් සියළු දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලූන් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 112 දෙනෙකුටම වෛරසය වැලදී ඇති බවට තහවුරු කරගෙන ඇත්තේ වැලිසර කඳවුරේ දී බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

නිවාඩු ලබා පැමිණි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු අතරින් ගම්පොල - නාවලපිටිය ප්‍රදේශයේ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව PCR  පරීක්ෂණය මගින් තහවුරු කරගෙන තිබුණා.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති අතර, ඉන් එක් ආසාදිතයෙකු සමඟ සබඳතා පැවැත්වීම නිසා ගම්පොල පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකු නිරෝධායනයට ලක් කර ඇති වටටයි වාර්තා වෙන්නේ

එසේම කුලියාපිටිය ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබලෙකු හඳුනා ගැණුනු අතර ඔහු ඇසුරු කළ එම ප්‍රදේශයේ පිරිස් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ගල්ගමුව, වාරියපොල සහ ගනේවත්ත, යන ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිත නාවිකයන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇත්තේ අයි.ඩී.එච්.රෝහලටයි.

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩුවට පැමිණි හිඟුරක්ගොඩ - කුමාරගම ප්‍රදේශයේ පදිංචි සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහුගේ නිවසේ හා ඊට යාබද නිවසේ සාමාජිකයන් ස්වයං නිරෝධානය කර තිබෙනවා.

මේ අතර, වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සෙබලෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමඟ වව්නියාව - මහකච්චකොඩිය ගම්මානය හුදකලා කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන සමඟ සෞඛ්‍ය අංශ අද පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය කෙරුණා.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - කබගමුව අක්කර 17 ගම්මානය හුදකලා කිරීමට ද ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරින් අද තීරණය කළේ එහි පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමඟයි.

අනුරාධපුර - සාලියපුර ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව ඊයේ තහවුරු වීමෙන් පසු එම තරුණයා පදිංචි නිවස හා ඒ අවට ඔහු සැරිසැරූ නිවෙස්වල පුද්ගලයින් එම නිවෙස් තුලම නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පෙරවරුවේ කටයුතු කර තිබෙනවා.

එසේම, බියගම - දිවුල්ගහමුල පාරේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවස අවට ගම්මාන රැසකට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරින් අද කටයුතු කළා.

එමෙන්ම කොරෝනා ආසාදනය වූ කටුනායක ගුවන් හමුදා කඳවුරේ තූර්යවාදක කණ්ඩායමේ කෝප්‍රල්වරයා සබඳතා පවත්වා ඇති පුද්ගලයින් 62 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමුකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියා.

එසේම, තවත් රෝගීන් 6 දෙනෙකු අද සුවය ලබා  රෝහල්වලින් නිවෙස් බලා පිටත්ව ගියා.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළ යනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 434 ක්.

මාර්තු 11 වනදා මෙරට පළමු ආසාදිතයා සොයා ගැනීමේ සිට පළමු සිය දෙනා වාර්තා වීමට දින 14 ක් ගත වූ අතර, දෙවන රෝගීන් 100 දෙනා වාර්තා වීමට ගත වුණේ දින 19 ක් පමණයි.

200 වන ආසාදිතයාගේ සිට 300 වන ආසාදිතයා ඉක්මවා යාම දින 8 ක් තුළ සිදුවූ අතර, 300 සිට 400 දක්වා ආසාදිතයින් සිය දෙනා වාර්තා වීමට ගත වූයේ දින 4 ක් පමණයි.

එසේම, 5 වන 100 දෙනා වාර්තා වීමට ගත වූ කාලය දින 2 ක් පමණක් වීම අවධානයට යොමුවිය යුතු කරුණක්.



No comments

Powered by Blogger.