CSN රූපවාහිනී නාලිකාවේ බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සමථයට පත් වෙයි


සී.එස්.එන් රූපවාහිනී  නාලිකාව සදහා ලබා  දී  තිබූ  විකාශන  බලපත්‍රය 2016 වසරේ දී  පැවති යහපාලනය රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින්  අහෝසි කිරීමට  එරෙහිව  එම   නාලිකාව  විසින්  ගොනු කල රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේදී සමථයකට  පත් වුණා.

 එම  නාලිකාවට ලබා දී තිබූ විකාශන  බලපත්‍ර ය අවලංගු  කරමින්  2016 වසරේ දී එවකට ජනමාධ්‍ය  අමාත්‍යාංශ ලේකම් වරයා විසින්  නිකුත් කරන ලද ලිපිය ඉල්ලා  අස් කර ගන්නා බව‍ ජනමාධ්ය  අමාත්‍යාංශය   අභියාචනාධිකරණයේ දී එකග වීම  මත මෙම  සමථය ඇති  විය.

ඒ අනුව 2016.10.23 දින  වන විට එම  නාලිකාව ලබා  දී තිබූ  සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත  ලබා දීමට කඩිනමින්  පියවර ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය  පල කලේය.

එම රිට් පෙත්සම මහින්ද  සමයවර්ධන සහ අර්ජුන  ඔබේසේකර  යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ  අවස්ථාවේ දී  මෙම   සමථය ඇති විය.

කිසිදු සාධාරණ  පරීක්ෂණයක්   පැවැත්වීමෙන්  තොරව සිය විකාශන  බලපත්‍රය අහෝසි කිරීම  නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර  තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.


No comments

Powered by Blogger.