අවස්ථා කිහිපයකදී ප්‍රහාරය සම්බන්ධව පොලිස්පති දැනුවත් කර තිබූ බව කොමිසමේදී හෙළිවේ


රාජ්‍ය බුද්ධි සේවය මගින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක කටයුතු සම්බන්ධයෙන් අවස්ථා රැසකදී එවක පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර තිබුණ ද, ප්‍රහාරය සිදුවන තෙක් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඊයේ පැය 8 කට ආසන්න කාලයක් එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ කාලවකවානුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහගෙන් එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසුවේ ප්‍රහාරයට පෙර තව්හිද් ජමාත් සංවිධානයේ යම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුවත් වූයේද යන්නයි.

පසුගිය වසරේ අප්‍රේල් 09 වැනිදා අතිශය රහසිගත ලිපියක් පොලිස්පතිවරයා විසින් තමන් වෙත යොමුකර තිබුණද රාජකාරී කටයුත්තක් සදහා කාර්යාලයෙන් පිටතට ගොස් සිටි නිසා අදාල ලිපිය ඊට පසු දින අප්‍රේල් 10 වැනි දින පෙරවරු 10 ට පමණ විවෘත කළ බව සාක්ෂිකරු එහිදී පැවසුවා.

එම ලිපිය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබූ බව සාක්ෂිකරු පැවසුවා.

එය සකසා තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සැපයූ තොරතුරක් මත බවද එම ලිපියේ සටහන් වූ බව නන්දන මුණසිංහ සඳහන් කළා.

නන්දන මුණසිංහ එහිදී ප්‍රකාශ කළේ ජාතික බුද්ධි ප්‍රධානියා විසින් එවන ලද ලිපිය සමඟ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අත්සන සහිත මුල් පිටපත ද තමන් වෙත එවා තිබුණු බවයි.

එමෙන්ම එම ලිපියෙහි රහසිගතයි,ඉහළ ප්‍රමුඛතාවයක් හිමි විය යුතුයි යනුවෙන් සඳහන් වූ බවත් ඔහු කියා සිටියා.

එය එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අත් අකුරෙන් සටහන් කර තිබු බවත් නන්දන මුණසිංහ එහිදී ප්‍රකාශ කළා.

එසේම එම ලිපියෙහි FNA ලෙස සටහන් කර එමගින් for necessary action හෙවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්න යනුවෙන් සඳහන් ව තිබූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පැවසුවා.

එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ මුල් අත්සන හා සටහන ඇතුළත් ලිපිය ඔබ වෙත ලැබුණාට පසු පොලිස්පතිවරයා අමතා වැඩිදුර තොරතුරු විමසුවේද යන්නයි.

තමන් පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබඳව විමසීමක් නොකළ බවත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට පවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් පළමු වරට එල්ල කිරීමට වසර දහයක් පමණ ගතවූ බැවින් ලිපියේ සඳහන් ආකාරයේ සංවිධානයක් සුළු‍ කාලයකදී එතරම් මට්ටමක නැතැයි තමන් සිතූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා.

එහිදී කොමිසම විමසුවේ මෙම ලිපියේ අන්තර්ගත වුණේ බුද්ධි තොරතුරු බැවින් බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් හෝ වැඩිදුර තොරතුරු විමසුමක් නොකළේද යන්නයි.

ඊට පිළිතුරු දුන් නන්දන මුණසිංහ පැවසුවේ ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ඇමතීමක් නොකළ බවත් දින දෙකකින් පමණ පසු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්‍ත ජයවර්ධන අමතා මේ පිළිබඳව විමසීමක් කළ බවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසුවේ මෙම ලිපිය ලැබීමට පෙර ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය පැවති බවට ඔබ සහභාගී වූ වැඩමුළු හෝ සම්මන්ත්‍රණවලදී සාකච්ඡාවට ලක්වුණේද යන්නයි.

එවැනි අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් කතාබහ නොකළද ශ්‍රී ලාංකිකයෙකු සිරියාවේදී ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී ජීවිතක්ෂයට පත්වූ බවද නන්දන මුණසිංහ එහිදී පැවසුවා.

කොමිසම එහිදී ප්‍රශ්න කළේ 2019 වසරේ ජනවාරි මස 16 වැනිදා වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවත් එහිදී මුස්ලිම් ජාතික සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස්පතිවරයාගේ ලිපිය ලැබෙන විට ඔබ දැන සිටියේද යන්නයි.

ඒ පිළිබඳව තමන් දැනුවත්ව සිටියද එහි වැඩිදුර තොරතුරක් CID ය තමන් වෙත ලබාදී නොතිබු නිසා, පොලිස්පතිවරයා එවූ ලිපිය සහ වනාතවිල්ලූ‍වේ සිද්ධිය අතර තමන්ට සැකයක් නොතිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ එහිදී පැවසුවා.

කොමිසම එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් එවූ මුල් ලිපිය මේ වනවිට තමන් සතුව ඇත්ද යන්නයි.

එම ලිපිය පසුගිය වසරේ ජුනි 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රහාරයෙන් දෙමසකටත් වඩා වැඩි කාලයක් අදාල ලිපිය ගොනුගත නොකර තමන් සන්තකයේ තබාගත්තේ ඇයිදැයි කොමිසම සාක්ෂිකරුගෙන් පෙරලා ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් නන්දන මුණසිංහ සඳහන් කලේ ලිපි ගොනුගත කර තබාගත යුතු ලෙස නීතියක් නැති නිසා එය තමන් සන්තකයේ තබාගත් බවයි.

එමෙන්ම ලිපියේ වලංගුතාවක් නැත්නම් ඇතැම්විට එය විනාශ කර දමන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පැවසුවා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමතිය පළ කළ කොමිසම පොලිස්පතිවරයාගේ අතිශය රහසිගත ලිපියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කළ එම ප්‍රකාශය පිළිබඳව සිය අප්‍රසාදය පළ කළා.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කළේ පොලිස්පතිවරයාගේ ලිපිය ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් ඔහු සමග පැවැත්වූයේ ද යන්නයි.

ප්‍රහාරය සිදුවන තෙක් එලෙස කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බව සාක්ෂිකරු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ අනාවරණ වූ තොරතුරු අනුව පෙනී යන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙම මුස්ලිම් අන්තවාදී සංවිධානය පිලිබඳව කර ඇති දැනුවත් කිරීම් පිලිබඳව වැඩිදුරටත් සාකච්ඡාවක් පැවැත්වූයේ නම් පාස්කු ඉරුදින විනාශය අවම කර ගැනීමේ පැහැදිලි හැකියාවක් පැවති බවයි.

No comments

Powered by Blogger.