සමගි ජන බලවේගය පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි


සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත්ි සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරි මහමැතිවරණය සඳහා භාර දී තිබෙන නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

බුවනෙක අලුවිහාරේ,  එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔෂල හේරත් මහතා විසින්.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නෙරංජන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන අයෙකුට "අපේ ජාතික පෙරමුණ" පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බව සඳහන් කළා.

එසේ තිබියදී අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම, සමගි ජන බලවේගය වශයෙන් වෙනස් කොට එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු පිළිගනිමින් ඉකුත් මාර්තු 12 වනදා මැතිවරණය කොමිසම විසින් නිකුත් කර ඇති ලිපිය එම පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිඥ වරයා පෙන්වා දුන්නා.

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලතල පෑවරී තිබෙන්නේ එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට යැයි පෙන්වා දුන් එම නීතිඥවරයා එහෙත් ප්‍රශ්ණගත
සංශෝධනය එම කාරක සභාව හරහා සිදු වී නොමැති බව සඳහන් කළා.

මැතිවරණ නීතියට අනුව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන අවස්ථාවක ඒ පිළිබඳව දින 30 ක් ඉක්ම යාමට මත්තෙන්  මැතිවරණ කොමිසම දැනුවත් කල යුතුය.

එහෙත් මෙම පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව විධිමත් දැනුම් දීමක් සිදු කර නොමැති අවස්ථාවක එම පක්ෂයේ නම සමගි ජන බලවේගය ලෙස වෙනස් කර එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු පිළිගැනීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීතිවිරෝධී බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින්
පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(3) වගන්තිය ප්‍රකාරව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කල බව දැනුම් දුන් විට එය පිලිගැනීමට මැතිවරණ කොමිසම සිදුවන බව  සදහන් කළා.

එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව සහ පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිබඳව  විමර්ශනයක් සිදු කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

මෙම පෙත්සම් සලකා බැලීම සිදු වූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහා යන මහත්වරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියා.


මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයන් තිදෙනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස,  සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන අය නම් කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ  සමගි බලවේගය වශයෙන් නාම යෝජනා භාරදී තිබෙන පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමති පක්ෂය පදනම් කරගෙන බවයි.

සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේදී  අදාල පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට භාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු සඳහන් කරයි.

එබැවින්  අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස  පෙත්සම්කාර ඔෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටී.

No comments

Powered by Blogger.