මැතිවරණ නීති උල්ලංඝණය කරීම නිසා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාඇල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

මැතිවරණ කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂම විසින් මෙම ස්ථානමාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට මැතිවරණ කොමිසම විසින් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඊයේ (16) පස්වරුවේ රැස්වූ පොලිස් කොමිසම ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර හැරීමට තීරණය කර තිබේ.

පුරප්පාඩුවන ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට නව නිලධාරියෙකු පත් කරන ලෙස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් කෙමිසම විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මේ අතර මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 3377ක් ලැබී තිබේ.

ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට පැමිණිලි 758ක් සහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2619ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර දේශපාලන පක්ෂවල ලේකම්වරුවන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (17) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ  ප්‍රකාශකයෙකු සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බවය.

විශේෂයෙන් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ආකාරය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතය.

No comments

Powered by Blogger.