නෙළුව දූවිලි ඇල්ලේ දිය නාමින් සිටි පෙම් යුවළක් සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගොස් පෙම්වතා පය ලිස්සා ජීවිතක්ෂයට


නෙළුව දූවිලි ඇල්ලේ දෙවන මහලේ දිය නාමින් සිටි පෙම් යුවළක්  එහි ගලක් මතට නැග සෙල්ෆි ජායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දී පෙම්වතාගේ  පය ලිස්සා ගොස් ඇල්ලට වැටී අද (19)  දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ (35) හැවිරිදි නෙල්සන් පෙදෙස, වැල්ල වත්ත පදිංචි එන්.එන්. රත්න රාජා නැමති ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ  සේවය කරන්නෙකු   බව පොලිසිය කියයි .
අද (19) ප.ව. 3.15 ට මෙම සිද්ධිය සිදුවී ඇති අතර  සිය පෙම්වතා ඇල්ලට වැටී දියේ ගිලෙන අයුරු පෙම්වතිය දැක උදව් ඉල්ලා කෑ කෝ ගසා ඇති අතර  පසුව ප්‍රදේශවාසීන් පැමිණ දියේ ගිලී සිටි පුද්ගලයා  තරුණයා ගොඩට ගෙන නෙළුව මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම  ස්ථානය දිය නෑමට අනාරක්ෂිත ස්ථානයක් ලෙස   දැන්වීම් පුවරු පවා සවිකර තිබෙන ස්ථානයක් බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය නෙළුව  මූලික රෝහලේ සිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට නියමිත අතර  සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව ප්‍රධාන පොලිස් ස්ථානාධිපති යූ. අරුලානන්දම් මහතාගේ උපදෙස් පරිදි  පොලිස් සැරයන් 37049 අජිත් නානායක්කාර මහතා ඇතුළු කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි .





No comments

Powered by Blogger.