කරුණා අම්මාන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි


දමිළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  ගොනු කළ  රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

තීරණය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නවාස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර සිටින විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නමැත්තාගෙන් සිද්ධියට අදාළව පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පති වරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට  මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු  මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව ද භියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පති වරයා නම් කර තිබෙනව.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් 19 වන දා දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්  තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමා අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයකදී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළා.

මෙම ප්‍රකාශය තුළින් කරුණාඅම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294  යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද පෙත්සම්කරු සඳහන් කළා.

සාක්ෂි ආඥා පනතේ 17(1)  වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි පෙත්සම්කරු චෝදනා කර සිටින්නේ.

ඒ අනුව කරුණා අම්මාන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

No comments

Powered by Blogger.