හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණූ රැසක් අනාවරණය කරයි


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර දින හෙට ගහනවා යැයි තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ අවස්ථාවේ ඔහු එම තොරතුරේ බැරෑරුම් ලෙස නොසැලකු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා.


ජනාධිපති කොමිසම හමුවේ ඊයේ 15 වන දිනටත් සාක්ෂි ලබාදුන් ඒ මහතාකියා සිටියේ  පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් නිවැරදිව බුද්ධි තොරතුරු නොසැපයු බව එම අවස්ථාවේ ජාතික ආරක්ෂාව භාරව සිටි අනෙකුත් සියළු අංශ පවසන්නේ නම් තම නිර්දෝෂි බව වෙනුවෙන් කෙළින් හිටගැනීමට තමන් සුදානම් බවයි.


එහිදී වැඩිදුරටත්  ජයවර්ධන මහතා කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙරදින එනම් අප්‍රේල් 20 දින දහවල් 12.30ට සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් රැදී සිටින ස්ථාන පිළිබදව පොලිස්පතිවරයාට වාර්තාවක් යැවු බවයි.


අදාළ වාර්තාවේ 2019 මාර්තු මස 29 දින සවස 3 ත් 3.30 ත් අතර සහරාන් හෂිම් තවත් පුද්ගලයෙකු සමග අක්කරෛයිපත්තුව, පල්ලෙකුඩෙයිපු ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරනු පුද්ගලයෙකු විසින් දැක තිබු බව සදහන් කළ බව ජයවර්ධන මහතා කියා සිටියා.


එලෙස සහරාන් දුටු බව දැනුම් දුන්නේ එම ප්‍රදේශයේ අරාබි පාසලක රැකියාව කරන සාවුල් හමිඩ් නැමැත්තෙකු බවත් ඔහුගේ දුරකතන අංකයද පොලිස්පතිවරයාට යොමුකළ බව ජයවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.


එසේම මෙම ලිපිය යැවීමට දින කිහිපයකට පෙර අක්කර්නගර්, ඔළුවිල් ප්‍රදේශයේ පදිංචි මිස්බා නැමැත්තෙකුගේ බිරිද බිත්තර මිලදි ගැනීමට නිවසකට ගිය අවස්ථාවේ සහරාන් හෂිම් දරුවකු සමග අදාළ නිවසේ රැදී සිටි බව රාජ්‍ය බුද්ධි අංශය පොලිස්පතිවරයාට වාර්තා කළ බවද ජයවර්ධන මහතා පැවසුවා.


ඔහු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂීම්ගේ බිරිදගේ පියා වූ ගෆුර් මාමා නැමැති තැනැත්තා 2019.01.20 දින මඩකළපුවේ සිට නාරම්මලට පැමිණ සහරාන් හෂිම් විසින් භාවිතා කළ වෑන් රථයක් විකුණා, පසුව දුරකථන අංකය වෙනස් කර සහරාන් සමග රැදි සිටින බව අප්‍රේල් 20 පොලිස්පතිවරයාට සැපයු වාර්තාවේ සදහන් කළ බවයි.


එසේම සහරාන් හෂීම්ගේ එක් සොහොයුරෙකු වු වරෙන්තු නිකුත්වී තිබියදි සැගව සිටි රිල්වාන් නැමැත්තා රාත්‍රී කාලයේ තම බිරිද සහ දරුවා බැලීමට ආරියම්පතිහි පිහිටි නිවසට එන යන බවත්, සහරාන් හෂීම්ගේ අනෙත් සොහොයුරා වු ශෛයිනි නැමැත්තා කාන්තන්කුඩිහි පදිංචි ආසිම් නැමැත්තෙකුගෙන් 2019.04.07 දින වැඩකට අවශ්‍ය Item ටිකක් මිලදි ගන්න යැයි පවසා රැපියල් 100,000 ඉල්ලාගෙන ඇති බව පොලිස්පතිවරයාට යැවු මෙම ලිපියේ සදහන් වු බවයි.


සහරාන්ගේ බිරිදගේ සහයට සහරාන්ගේ සමීපතමයෙකු වු අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිද වු පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් රදවා ඇති බවත් සහරාන්ගේ බිරිද වන හාදියා 2019.02.20 කැකුණුගොල්ල නිවසින් පිටවීමෙදි මෙම සාරා ජෙස්මින්ද හාදියා සමග සිට ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවය අප්‍රේල් 20 දින පොලිස්පතිවරයාට යැවු ලිපියේ සදහන් වු බව ජයවර්ධන මහතා පැවසුවා.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වු මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් නැමැත්තා මාතලේ මරුක්කන ප්‍රදේශයේද, සහරාන්ගේ තවත් සමීපතමයෙකු වු ආමි මොහිදින් නැමැත්තා පාසිකුඩා ප්‍රදේශයේ මුහුද ආශ්‍රීත ප්‍රදේශයේද සැගව සිටින බව පොලිස්පතිවරයාට යොමුකළ මෙම වාර්තාවේ සදහන් වු බවයි.


එසේම අදාළ වාර්තාවේ පිටපතක් එදිනම අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාටද යොමුකළ බව ජයවර්ධන මහතා පැවසුවා.


අදාළ ලේඛනය එවන ලද බව පොලිස්පතිවරයාට දුරකතනයෙන් දැනුම්දුන්නේ දැයි මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළ අතර එහිදි සාක්ෂිකරු කියා සිටියේ එලෙස දුරකතන ඇමතුමකින් දැනුවත් නොකළ බවයි.


මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 20 වන දින ප්‍රහාරයක් එල්ල විය හැකිබවට යළි පුර්ව දැනුවත් කිරීමේ තොරතුරක් ලැබුනේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සදහන් කළේ අප්‍රේල් 20 දින තමන්ට තොරතුරු කරුවන් දෙදෙනෙකුගෙන් අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායී තොරතුරු ලැබුණු බවයි.


ඒ අනුව අප්‍රේල් 04 දින මුල්වරට ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ විදෙස් බුද්ධි අංශයක තොරතුරුකරු අප්‍රේල් 20 දින ප.ව 04.12 ට තමන්ට Whatsapp පණිවුඩයක් යොමු කරමින්,


" ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම් ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කරනවා. පෙර පුහුණුවීමක් ලෙස කාත්තන්කුඩි පානමුනේ ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවාහැර තිබෙනවා. අප්‍රේල් 21 හෝ ඊට පෙර ඕනෑම වෙලාවක ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. පල්ලියක්, හෝටලටක් සහ ඉන්දියානුවන් වැඩියෙන් ගැවසෙන ස්ථාන 08 ක් ඉලක්ක ලෙස තෝරාගෙන තිබෙනවා. මේක මේ දැන් මට මගේ මුලස්ථානයෙන් ලැබුණු නවතම යාවත්කාලින තොරතුරක්. " 


යනුවෙන් පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.


පසුව අදාළ Whatsapp පණිවුඩය ප.ව 04.53 ට එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යන මහත්වරුන්ටද යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා.


ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් විසින් යවන ලද පණිවුඩයට Well Received යනුවෙන් පිළිතුරක් යොමු කළ බවද ජයවර්ධන මහතා සාක්ෂිදෙමින් කියා සිටියා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ 21 වෙනිදාට පෙර ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කළේද යන්නයි.


තමන් ඒ පිළිබදව පොලිස්පතිවරයා දැනුවත් කළ අවස්ථාවේ " නිලන්ත ඕක නන්දනට කියන්න " යනුවෙන් පමණක් පොලිස්පතිවරයාගෙන් පිළිතුරු ලද බව නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින් තමන් ලබාදුන් පණිවුඩයේ බැරෑරුම් බව තේරුම් නොගත් නිසා තමන් ආරක්ෂක ලේකම්වරයා අමතා


" සර්, මම IGP ට කිව්වා. එයා මේක Serious ගත්තේ නැහැ. කරුණාකරලා සර් IGP ට කියන්න " යනුවෙන් දැනුම්දුන් බවයි. "


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ඔබ එම තොරතුර පිළිබදව ඔබේ අනිත් නිලධාරින් දැනුවත් කළේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ සහකාර අධ්‍යක්ෂකට මෙම Whatsapp පණිවුඩය යොමුකර ඔවුන් දැනුවත් කළ අතර වෙනත් කිසිවෙකු දැනුවත් කිරීමක් තමන් විසින් සිදු නොකළ බවයි.


මෙහෙදි නිලන්ත ජයවර්ධන මහතා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසුවේ,


 " ආරක්ෂක ඇමතිට විනාඩි 05 ක් තුළ ජාතික ආරක්ෂක කවුන්සලය කැදවීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බැවින් අප්‍රේල් 20 පස්වරුවේ ලද හෙට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් යන විශ්වාසනිය තොරතුර සම්බන්ධයෙන් සේනාධිනායකයා දැනුවත් නොකළේ මන්ද යන්නයි.


එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ " මම ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි අයටයි දැනුම් දුන්නේ. හදිස්සි අවස්ථාවක හමුදාව කැදවන්න අපිටත් පුළුවන්. නමුත් මෙතනදි හමුදාව අවශ්‍යම නැහැ. පොලිසිය, STF එක එක්ක මෙහෙයුමක් කරන්න පුළුවන් " ‍යනුවෙන්.


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික විනිසුරුවරයා යළි ප්‍රශ්න කර සිටියේ " ඔබ පවසන ලෙස ඔබ විසින් දිගටම තොරතුරු සපයලාත්, මේක වලක්වා ගැනීමට කටයුතු නොකළා කියන එකට, ආරක්ෂක කවුන්සලය වගකියන්න ඕනේ කියන එකද ඔබ කියන්නේ.


එයට පිළිතුරු ලෙස ජයවර්ධන මහතා පැවසුවේ තමන් මෙම ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම කිසිවෙකුට නොපවරන බවයි.


එහිදි නැවතත් කොමිසමේ සමාජික විශ්‍රාමික විනිසුරුවරයා පැවසුවේ " එසේ සදහන් කරන්න බැහැ. කවුරුහරි වගකිම ගන්න ඕනේනේ " යනුවෙන්.


එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ මේ අය වගකිවයුතුයි කියලා මතයක් ඉදිරිපත් කරන්න මම කැමති නැහැ. කොමිසම තීරණය කරන්න මම වගකිවයුතුද, අනිත් අය වගකිවයුතුද කියලා. මගේ කියන්නේ කවුරුන් හෝ වගකීමක් භාරගත්තොත් ඒ රස්සාව හරියට කරන්න ඕනේ කියන එක" 


මෙහිදි ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ,


ඔක්කොම එකතුවෙලා කියනවානම් පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් නිවැරදිව බුද්ධි තොරතුරු ලබාදුන්නේ නැහැ කියලා. මගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කෙළින් හිටගෙන සාක්ෂි ඉදිරිපත් කරන්න මම සුදානම්.

No comments

Powered by Blogger.