කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛනගත කරන්න යැයි උපදෙස්

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛන (BLACK LIST) ගත කර ගෙවීම් අත්හිටුවන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බළධාරීන්ට උපදෙස් දෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති වල ඉදිරිකිරිම් සමාගම්වලට එම ඉදිකිරීම් අවසන් කිරීමට දිගින් දිගටම අමතර කාලය ලබා නොදෙන ලෙසද, ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළේ ඉදිරි සංවර්ධන කටයුතු වල ප්‍රගතිය විමසා බැලීම සදහා පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව ඊයේ (19) සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.


කටුනායක ගුවන් තොටුපළේ දෙවන ධාවන පථය හා මගී පර්යන්තය සංවර්ධනය සදහා ගෙන ඇති පියවර මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපළේ විශාලතම ව්‍යාපාතිය වන මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපළ නව මගී පර්යන්තයක් හා නව ගුවන් අංගනයක් ද ඉදිකිරීමට නියමිතය.

කටුනායක ගුවන් තොටුපළේ පහසුකම් ඇත්තේ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 06 ක ගුවන් මෙහෙයුම් සදහා පමණි. එහෙත් මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 10 යකට අධික පිරිසකගේ ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි. මේ තත්ත්වයට විසදුමක් ලෙස ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්බ කෙරුණු අතර එම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ නව ආණ්ඩුව ප්‍රතිඵල අපේක්ෂිත ආණ්ඩුවක් බවයි. මාස තුනෙන් තුනට ආණ්ඩුව සියලු අමාත්‍යාංශ වල හා ආයතන වල ප්‍රගතිය විමසා බලන බවත් ඒ අනුව සියලු ආයතන ප්‍රධානීන් සිය ප්‍රගතිය පෙන්විය යුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. කටුනායක ගුවන් තොටුපළ නැංවීමේ ක්‍රියාකාරී සැලැස්මක් සති තුනක් ඇතුලත තමන් වෙත ලබාදෙන ලෙස ද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

ගුවන් සේවා හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

No comments

Powered by Blogger.