බගවන්තලාව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරිමට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනයක


හැටන් බගවන්තලාව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරිමට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනය කරමින් බගවන්තලාව කොටියාගල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට වතු පාලන අධිකාරියට එරෙහිව (20) දින විරෝධතාවයක නියැලි සිටිහ.

බගවන්තලාව ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකුට ඉන්ධන පිරවුම්හල ඉදි කිරිමට අවස්තාව ලබානොදි පිටතින් පැමිණි ව්‍යාපාරිකයෙකුට බගවන්තලාව නගරයේ ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරිමට අවසර ලබා නොදෙන ලෙස බල කරමිනුයි වතු කම්කරුවන් පිරිස වතු පාලන අධිකාරියට එරෙහිව විරෝධතාවයේ නියැලුණේ.


බගවන්තලාව කොටියාගල වතුයායේම වතු කම්කරුවන් පිරිසකුයි මෙසේ වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයට ඉන්ධන පිරවුම්හලක් නොමැති විම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවල පාලන අධිකාරිය සහ බගවන්තලාව ප්‍රදේශයේ රථ වාහන හිමියන් කාලයක් තිස්සේ දැඩි අපහසුතාවයට පත් වි සිටියි.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු වලට සහ බගවන්තලාව ප්‍රදේශයේ රථ වාහන හිමියන් තම ඉන්ධන අවශ්‍යයතාවයන් සපයා ගැනිමට කිලෝමිටර් 10 ක් එපිටින් පිහිටි නොර්වුඩ් නගරයේ ඉන්ධන පිරවුම්හලට හෝ කිලෝමිටර් 20ක් එපිටින් පිහිටි හැටන් නගරයට පිවිසිමට සිදු වි ඇත.

දිනකට බගවන්තලාව නගරය හරහා බලංගොඩ , ඇඹිලිපිටිය , ගාල්ල , මාතර දක්වා බස් රථ ඇතුළු විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය වන අතර, එසේ ගමන් ගන්නා වාහන වලට නොර්වුඩ් ඉන්ධන පිරවුම්හල පසු කර කිලෝමිටර් 52 ක් දුර පිහිටි බලංගොඩ නගරය දක්වා කිසිදු ඉන්ධන පිරවුම්හලක් එම මාර්ගයේ පිහිටා නැත.


බලංගොඩ ප්‍රදේශයේ පදිංචි එස්.කේ.චරිත් නම් ව්‍යාපාරිකයෙකු විසින් මුදල් අමාත්‍යංශයේ , වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් 2020.02.13 දින බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ කොටියාගල වත්ත ප්‍රදේශයේ පරිසර හිතකාමි ලෙස ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරිමට අනුමැතියද ලබාගෙන ඇත.

ඉන්ධන පිරවුම්හල ඉදි කිරිම සදහා මධ්‍යම පරිසර අධිකාරියෙන් , පතල් සහ භුවිද්‍යා කාර්යංශයෙන් , ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයෙන් , අඹගමුව ප්‍රාදේශිය සභාවෙන් , නොර්වුඩ් ප්‍රාදේශිය සභාවෙන් අනුමැතිය ලබාගෙන ඉන්ධන පිරවුම්හල ඉදි කිරිම සදහා බගවන්තලාව වැවිලි සමාගමෙන් එස්.කේ.චරිත් මහතා විසින් මේ වන විට පර්චස් 80 ක ඉඩම් කැබැල්ලක්ද වසර 25 ක බදු ඔප්පුවකින් ලබාගෙන ඇත.


බගවන්තලාව නගරයේ ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරිමට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණය කිරිම සම්බන්ධයෙන් අප එස්.කේ.චරිත් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ බගවන්තලාව නගරයේ ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරිමට බගවන්තලාව නගරයේ තානායම බදු පදනම මත රැගෙන පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු උත්සහ කර ඇතත් එය ඔහුට ලබා ගැනිමට නොහැකි වු නිසා එම ව්‍යාපාරිකයාගේ මග පෙන්විම යටතේ වතු කම්කරුවන් පිරිස මෙසේ  ඉන්ධන පිරවුම්හල ඉදි කිරිමට එරෙහිව විරෝධතාවයේ නියැලෙන බවයි.











No comments

Powered by Blogger.