අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා ලබා සිටි ශෂී වීරවංශ අද අදිකරණයට සිදු කල ප්‍රකාශය

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ ක්‍රියාදාමය මුළුමනින්ම පලිගැනීමක් යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.


අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම තුළින් ආගමන හා විගමන පාලන පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව විත්තිකූඩුවේ සිට සිය විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ශෂී වීරවංශ මහත්මිය මේ බව පැවසුවා.

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.


එහිදී විත්තිකූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ ශෂී වීරවංශ මහත්මිය

ප්‍රශ්නගත රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය තමන් අතට ලැබුණු විගස තමා එය පරික්ෂා කළ බවත් එහි දත්ත වල යම් වෙනසක් තිබෙන බව තමන් නිරීක්ෂණය කළ බවත් ඇය අධිකරණය හමුවේ පැවසුවා.


පසුව මේ පිළිබඳව තමා ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කළ බවයි ඇය කියා සිටියේ.


ඒ පිළිබඳව කරුණු සොයා බැලූ ආගමන හා විගමන පාලකවරයා මෙම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් නොවන බවත් නිත්‍යානුකූල ලියවිල්ලක් බවත් ලිඛිතව තමන් වෙත දැනුම් දුන් බව ද ඇය පැවසුවා.


එය විදේශ ගමන් සඳහා භාවිතා කිරීමට කිසිදු තහනමක් නොමැති බව ආගමන හා විගමන පාලකවරයා විසින් තමන් වෙත දැනුම් දුන් බවද ඇය සඳහන් කර සිටියා.


ඒ අනුව වසර පහකට ආසන්න කාලයක් තමා මෙම විදේශ ගමන් බලපත්‍රය කිසිදු අවහිරයකින් තොරව භාවිතා කළ බව සඳහන් කළ ශෂී වීරවංශ මහත්මිය පසුගිය යහපාලන රජය පැමිණීමෙන් පසුව ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් මත තමන්ව අත්අඩංගුවට ගෙන පලිගැනීමක් වශයෙන් මෙම නඩුව පැවරීමට පියවර ගැනුණු බවද සඳහන් කළා.


මෙම නඩුව හේතුවෙන් තමා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තම දරුවන් දෙදෙනා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් සඳහා සූදානම්ව සිටි බව සඳහන් කළ ශෂී වීරවංශ මහත්මිය එම සිද්ධිය සිදුවී මාස කීපයකින් තම මව මරණයට පත් වූ බව ද හැඟීම් බරව අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.


ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් මස 09 වනදා තෙක් කල් තැබුණා.

No comments

Powered by Blogger.