ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමේ දී හිතාමතාම බොරු සාක්ෂි ලබා දෙන බවට සාක්ෂිකරුවෙකුට චෝදනා එල්ල වෙයි


ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගත්තා. 


ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.


මෙහිදී ෙම නඩුවට පාදකවන ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා විශ්‍රාමික රියර් අද්මිරාල්  නිලන්ත හීනටිගල මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් තවදුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදු කළා.


මෙහිදී සාක්ෂිකරු සඳහන් කළේ ඇවන්ගාඩ් සමාගම සහ නාවික හමුදාව අතර කිසියම් වාණිජ ගිවිසුමක් පැවති බව තමන් පසුව දැන ගත් බවයි.


ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථා වන විට තමන් එවැන්නක් නොදැන සිටි බව සඳහන් කළ සාක්ෂිකරු තමා අදාළ නෞකාව අත්අඩංගුවට ගනු ලැබූවේ නාවික හමුදාපතිවරයා දුන් විධානයකට අනුව බව සඳහන් කර සිටියා.


මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මතා ප්‍රශ්නයක් මතු කරමින් අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ගාඩ් නෞකාවට එහි අන්තර්ගත අවි ආයුධ ද සමග ගාලු වරායට සේන්දු වීමට අවසර දෙමින් එවක ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ලිපියක් නිකුත් කර තිබියදී එය නිදහස් කිරීමට පියවර නොගත්තේ ඇයි දැයි විමසා සිටිය.


එවිට සාක්ෂිකරු සඳහන් කර සිටියේ එවැනි ලිපියක් තමාට නොලැබුණු බවත් එවැන්නක් ලැබි තිබුණේ නාවික හමුදාපතිවරයාට බවට තමන් දැන ගත් බවයි.


ආරක්ෂක අමාත්‍යාංශය ලැබුණු බව සඳහන් එම ලිපියේ කිසියම් අඩුපාඩු පැවැති හෙයින් ඒ සම්බන්ධයෙන්

 පියවරක් නොගැනුණු බවයි සාක්ෂිකරු සඳහන් කර සිටියේ.


මෙහිදී මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ නාවික හමුදාව අයත් වන අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන ආරක්ෂක ලේකම් වරයා කිසියම් විධානයක් දුන් විට එය බැහැර කිරීමට පහල නිලධාරීන්ට හැකියාවක් තිබෙනවාද යන්න පිළිබඳව?


ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කර සිටියේ මෙම ලිපියට අනුව කටයුතු කරන ලෙස තමන්ට උපදෙස් ලැබීමක් සිදු නොවූ නිසා තමා එම ලිපියට අනුව කටයුතු නොකළ බවයි.


නඩු විභාගය අතරවාරයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙම සාක්ෂිකරු හිතාමතාම බොරු සාක්ෂි ලබා දෙන බවට අවස්ථා කීපයකදීම  චෝදනා එල්ල කිරීම කැපී පෙනෙන සිද්ධියක් වුණා


වැඩිදුර සාක්ෂි විභාගය හෙට දින දක්වා කල්  තැබුණා.



2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්  මෙම චෝදනා 19  ඉදිරිපත් කර තිබේ.


No comments

Powered by Blogger.