නඩුවකින් තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකු ඉවත් වෙයි





යාපනය, මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය හිමිව සිටි යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක මහතා ු  පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.


මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.


එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ජනාධිපති සමාව හිමි වූ විත්තිකරු වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබා දුන් විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වශයෙන් තමා කටයුතු කළ බවයි.


මේ හේතුවෙන් තමා මෙම පෙත්සම සළකා බැලීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බව ද විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණය සඳහන් කළා.


 ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම පෙබරවාරි මස 8 වන දා තෙක් කල් තැබුණා.


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය. පාක්‍යසෝති සරවනමුත්තු සහ තවත් පාර්ශව කිහිපයක් විසින් පෙත්සම් ඉදිරිපත්් කර තිබුණාා.


එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම් පී. බී .ජයසුන්දර, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන්, පොදු සමාව ලද සුනිල් රත්නායක සහ නීතිපතිවරයා නම් කර තිබේ..


2000 වසරේ යාපනය, මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි යුද හමුදා සාමාජිකයෙකු වු සුනිල් රත්නායක මහතාට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූූ තීරණය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පොදු සමාව ප්‍රදානය කිරීමේ තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.


පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2000 වසරේ දෙසැම්බර් මස 19 වනදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ සිදුවූ සමූහ මිනිස් ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කළ සුනිල් රත්නායක නැමති යුධ හමුදා සාමාජිකයාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් 2015 වසරේ මරණීය දණ්ඩනය නියම කළ බවයි. එම මරණීය දණ්ඩනය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය විභාග කල පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් 2019 වසරේ අප්‍රේල් මස 25 වනදා එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පැනවූ මරණිය දණ්ඩනය ස්ථිර කළ බව පවසති..


ඉන් අනතුරුව ඉකුත් මාර්තු මස 26 වනදා කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇඳිරි නිතිය පනවා මහජන අවධානය ඒ දෙස යොමුවී තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මෙම විත්තිකරුට පොදු සමාව ලබා දී ඔහු නිදහස් කිරීමට පියවර ගත් බවද පෙත්සම්කරුවෝ චෝදනා කරති. මරණීය දණ්ඩනය නියම වූ මෙම පුද්ගලයාට පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් විනිවිදභාවයකින් සහ පිළිගත් නීති සිද්ධාන්තයන්ට අනුකුලව ක්‍රියා කර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් මගින් පවා මෙම පුද්ගලයා වරදකරු කිරීමේ තීරණය අනුමත කර තිබියදී ඔහුට පොදු සමාව දී නිදහස් කිරීම තුලින් අධිකරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක් කිරීමක් මෙන්ම එහි ගරුත්වයට හානි කිරීමක් සිදුකර ඇති බවද පෙන්වා දී ඇත. 


මෙහි ප්‍රතිපලයක් ලෙස මෙම නඩු විභාගයේදී සාක්ෂි දුන් සාක්ෂිකරුවනට සහ මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයිනටද බියක් හටගෙන තිබෙන බවද පෙත්සම්කරුවන් පවසති.


 මේ හේතුවෙන් එම සිරකරු නිදහස් කිරීමේ තීරණය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැනි බව ඔවුන් පෙන්වා දෙති.

No comments

Powered by Blogger.